කාල වේලාව හීන වීමත් සමග ලිවීමේ කාර්යයෙන් මදක් ඈත් වීමට සිදු වූ බව සැබෑය. නමුත් විසි වසරක පැතුමක් ඉටු වීම නොලියාම බැරිය. එනිසා තවත් එක් කතාවක් මෙසේ අකුරු කරමි.
මා මේ කියන්නට යන්නේ සාහිත්‍යකරුවන්ගේ උදාහරණ කතා වල එන මැක්සිම් ගෝර්කිගේ අම්මා හෝ චිංගීස් ආයිත්මානව්ගේ ගුරු ගීතය නොවේ. හුදෙක් මෙය එක් කතාවක් පමණක්මය. ඔබටත් මටත් අමතක වී ගිය එක් අපූර්ව ලේඛිකාවකගේ පුංචිම පුංචි නවකතාවක් පමණක්මය. නමුත් එය පැසසිය යුතුමය. වසර විස්සක් තිස්සේ සෙවූ ඒ පොත මා අතට ලැබී සතියක්වත් ගතවී නැත. නමුත් මේ පිළිබද නොලියා සිටිය නොහැකි අයුරින් මේ ගැන ලිවිය යුතුයැයි මා මනස මට වද දෙන අයුරු පැහැදිලි කරනට තරම් පෝෂිත වචන ප්‍රමාණයක් මා සතුව නොමැත. කෙසේ හෝ වේවා නොනිදා හෝ මා මේ කතාව ආරම්භයේ සිටම ලියමි.
මා කුඩා කල ලගම ඇති පුස්තකාලයෙන් අපට කියවිය හැකි අපූර්ව පොත් සොයා ගෙනැවිත් දෙන්නේ අම්මා ය. මමත් මගේ සහෝදරයනුත් ඒ පොත් කියවන්නට පුරුදු කලේද අම්මා විසින් මය. එලෙස මා අතට පත්වන එක් පොතක් මා සිත ගැමි සුන්දර පරිසරයකට ගෙන ගියේ මන්දැයි මා නොදනිමි. ඒ පොත නමින් "පේ අයියා" ය. 1991 එස් ගොඩගේ සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම නවකතාව රචනා කර ඇත්තේ මාලිනී විජයවීර නම් ලේඛිකාව විසිනි. වරක් දෙවරක් කියවූ පොත් අතර කුඩා වයසේදීම යලි යලිත් ගෙන්වාගෙන විසි තිස් වාරයකටත් වඩා කියවූ පොතක් ඇත්නම් ඒ "පේ අයියා" විය යුතුය.