බස්නාහිර පලාතේ කලුතර දිස්ත්‍රික්කයට අයත් වුන අපූරු දිය ඇල්ලකින් 2018 වර්ෂය ආරම්භ කරන්න හිතුවා. ඒ තමයි මාකෙළි ඇල්ල. මාකෙලි ඇල්ල බලන්න යන අයට මේ දිය ඇල්ලට ලඟාවෙන්න ක්‍රම කීපයක්ම තියෙනවා. බුලත්සිංහලට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එහෙම නැතිනම් ලත්පඳුරට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එතැනින් කෙලින්කන්ද මාර්ගය දිගේ ආව නම් දිය ඇල්ල ලඟට එන්න පුළුවන්. තිරිවානකැටිය පැත්තේ ඉලඳන් එනවා නම් මහවැව පහු වෙනව එක්ක තියෙන කුකුලේගඟ පාලම පහුවෙලා ටිකදුරක් ගියාම කුකුලේගඟ ව්‍යාපෘතියට යන පාර හමුවෙනවා. ඒක දිගේ ගියාමත් දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
පාරෙන් ටිකක් පහලට බහිදද්දී නැරඹුම් වේදිකාවක් තියෙනවා එතැන ඉඳන් බොහොම අපූරුවට දිය ඇල්ලේ සුන්දරත්වය විඳින්න පුළුවන්. එතැනින් පහලට බහින්න පුළුවන් කම තියෙනවා වුනත් වැසි කාලයේදී නම් දිය ඇල්ල පාමුලට යන එක ඒ තරම් නුවනට හුරු වැඩක් නෙවෙයි. දිය ඇල්ලේ නාන එක නම් කොහොමටවත් හොඳ වැඩක් නෙවෙයි. ඒකට හේතු වෙන්නේ ජීවිත 40කට ආසන්න ගණනන් මේ වෙද්දීත් දිය පහර විසින් බිලි ගෙන තිබීම.


