ලෝක ළමා දිනය වෙනුවෙන් මේ අවුරුද්දට.............

අද ලෝකයේ හැම දෙනෙක්ම සමරන දවසක්. ඒ ලෝක ළමා දිනය දවස. අපි හැ‍මෝටම අපේ සුන්දර ළමා කාලය සිහිවෙන දවසක් වගේම අපි ළමයි සතුටු කරන්න ගොඩක් වෙනස් වෙනස් විදිහේ වැඩසටහන් කරනවා. ඉතින් මම දැන් උගන්වන ILead (Initiative for Livelihood Education & Development) ආයතනය මගින් සංවිධානය කලා පුංචි වැඩසටහනක්. ඒකට මුලින්ම අඩිතාලම දාල තිබුනේ අපේම ආදි ශීෂ්‍ය කණ්ඩායමක් විසින්. ඒ අය කල විශය බාහිර කටයුත්තක අවසාන අදියර හැටියට තිබුනු කාර්යයක් අපි මේ වැඩසටහන මගින් අවසන් කරන්න හිතුවා.
 අපේ ආදි සිසුන්ගේ කාර්යය වුනේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිස් සොයාගෙන ඔවුන් වෙනුවෙන් යමක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් කල වැඩසටහනකින් එකතු වුන මුදල් හා වර්තමාන සිසුන්ගේ දායකත්වයෙන් අපි පොඩි පවුලක් වෙනුවෙන් උදව් කරන්න හිතුවා. පවුලේ දරුවන් 4 දෙනයි. ඒ සියල්ල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. මසකට මේ අය වෙනුවෙන් විශාල මුදලක් වියදම් වෙන නිසාවෙන් හා ඔවුන්ගේ දුගී බව නිසාවෙන් මේ ළමුන්ගේ දෙමාපියන් අසරණ තත්ත්වයකයි සිටින්නේ. අපි කල දෙයින්‍ ඔවුන් වෙනුවෙන් මසකට පමණ අවශ්‍ය ‍‍දේ දුන්නත් අනිත් කාලයේ මෙනවගේ දෙයක් වෙයිද දන්නේ නැහැ.
වැදගත්ම කාරණය වෙන්නේ මේ ආයතනයේ දැන් ඉගෙන ගන්න ලමුන් පිරිස. ඔවුන්ට වෘත්තීය පුහුණවකට වැඩි දෙයක් දෙන්න කටයුතු කරන අපි ඔවුන්ගේ මේ වැඩසටහන නිර්මාණයට දුන්නේ එක් දිනක වරුවක් පමණයි. නමුත් ඔවුන් ඉතා දක්‍ෂ විදිහට ඒ කාලය ඇතුලේ එය අය සතුටු කරන වැඩසටහනක් සකසා ගත්තා. ඇත්තෙන්ම මේ තුල ඉන්න සැබෑ දක්‍ෂයන් හඳුනාගන්න ලැබුණා. කොහොම වුනත් මමත් අපේ අනිත් ගුරු මණ්ඩලයත් බලාපො‍රොත්තු වුන දේ මේ ලමයි අතින් වුනා කියන්න පුළුවන්. මම ළමයින්ට දුන්නේ එකම එක උපදෙසයි. ඒ තමයි ඒ එන ළමයි යද්දී අපිට වඩා නොවෙනස්ව, හෘදයාංගම හිනාවකින් පුරවලා යවන්න. ඒක ඒ විදිහටම කරන්න පුළුවන් වුනා කියල මට දකින්න පුළුවන් වුනා. අන්තිමට මට ලැබුණ ලොකුම තෑග්ග තමා ඒ පුංචි අයගේ හිත්වල තිබුන සතුට. ඒ හිනාව මට නම් කෝටි ගානක් වියදම් කලත් ගන්න බැහැ.
අපි අනවශ්‍ය දේට කොයි තරම් වියදම් කරනවද? ළමා දිනය කියාගෙන පෝසත් ළමයි කොයි තරම් සල්ලියක් විනාස කරනවද? ඒත් ඒ වියදමින් රුපියලක් වත් මේ වගේ පුංචි මල් ටිකකට වියදම් නොකරන්නේ ඔවුන් මඩේ පිපුණු නිසාද? නැත්තම් ඒ මල් වල අඩුපාඩු නිසාද? ඒ කොයි දේ වුනත් අපේ රටේ ඉන්න ඔක්කොම අයට අපි ටිකකට සලකන්න බැරි වෙයි. ඒත් මේ වගේ අය ගොඩක් ඉන්නවා. අඩුගානේ අද වගේ දවසකවත් ‍මේ වගේ දුවල පැනල සතුට හොයන්න බැරි පුංචි මල් හිනාවෙන් පුරවන්න බලන්න. මේ වගේ ලස්සන හිනාවක් දෙන්න මාවත් එකතු කරගත්තු ආයත‍නේට ‍ගොඩක් ස්තූතියි... ඒ වගේම මම බලාපොරොත්තු වුන විදිහට ඒ පුංචි පැටවුන්ට හිනාව දීපු අපේ ශිෂ්‍යයන්ටත් ස්තූතියි....
මෙන්න ඒ පුංචි හිනාව ඔයාලටත් දකින්න......

මගේ ගමන් බිමන් හැටපස්වන කොටස - පියංගල

කාලෙකට කලින් ලිපි දිගටම ගෙනාවත් දැන් නම් රාජකාරියත් එක්ක කොහේවත් යන්න ලැබෙන්නේ නැති තරම්. ඒ වුනත් කලින් ඇවිදපු තැන් ගොඩක් තියෙනවා විස්තර ගේන්න බැරිවෙච්ච. ඒ නිසා මේ ලියන්න යන්නේ අම්පාරේ ඉන්න දවස්වල ගියපු තැනක් ගැන පුංචි විස්තරයක්.
අම්පාර නුවර පාරේ අම්පාරේ ඉඳන් කිලෝමීටර විස්සක් විතර ගියාම අපට පියංගල කියන ගමට යන්න පුළුවන්. කලිනුත් මේ කියන ගමට ආසන්නයේ තියෙන පුළුකුණාව ගැන ලිපියක් දැම්මා කට්ටියට මතක ඇති. ඒ වගේම තමා මේ කියන පියංගල නටඹුන් ප්‍රදේශයත්. පාර අයිනේ දකින්න තියෙන පන්ස ගාවින් ඉහලට යද්දී මේ කියන නටඹුන් ප්‍රදේශයට යන්න පුළුවන් වගේම මෙතැන ගොඩක්ම තියෙන්නේ ලෙන්. මහා විශාල ප්‍රදේශයක විසිරුණු ලෙන් සියල්ලම බලන්න නම් දවස් දෙක තුනක්ම යයි.
ආරම්භයේ පටන්ම ‍ගල් ඇතිරූ මාර්ගයකින් සමන්විත නිසා ගමන දුශ්කර වෙන්නේ නැහැ. නමුත් සමහර ගුහා වලට යද්දී නම් අපිට නම් පාරවල් දකින්න ලැබෙන්නේ නැහැ. නන්දිමිත්‍ර සෙනෙවි විසින් සකසා බණ දේශනා කිරීම සඳහා දුන් බව ඉතිහාසයේ කියවෙන මේ ලෙන් වල බ්‍රාහ්මී අක්‍ෂරයෙන් කල සෙල්ලිපි දකින්නට පුළුවන්. අලුතින් කල විහාර ගෙයක් හා ‍චෙතයයක් දකින්න පුළුවන් වගේම ඒ තැන් වලට යන්න තියෙන මාර්ගයත් ගල් අතුරා සකස් කර තියෙනවා.
හැබැයි ඉතින් පෝය දවසක් නම් ගොඩක් සෙනග ඉන්නවා වගේම බොහෝ තරුණ අයගේ නොමනා හැසිරීම් නිසාවෙන් මේ තැන් වලට ලැබිලා තියෙන්නේ නම් නරක නාමයක්. කැලෑබද ප්‍රදේශය හා තැන තැන විසිරුණු ලෙන් නිසාවෙන් විශාල ප්‍රමාණයෙන් වැරදි සිදුවීම වලක්වා ගන්න ටිකක් අපහසුයි.

මගේ ගමන් බිමන් හැට හතර වන කොටස - බුදුලෙන රජමහා විහාරය

රත්නපුර බලංගොඩ පාරේ ලෙල්ලෝපිටිය හංදියෙන් හැරිල කිලෝමීටර 6ක් විතර යන්න ඕන මේ කියන තැනට යන්න නම්. කඳු වලින් වටවුන උස් බිමක පිහිටලා තියෙන්නේ. පාර නම් කඳු වටෙන් යනවා විතරක් නෙවෙයි එක පැත්තකින් දරුණු බෑවමක් තියෙනවා. තට්ටු ක්‍රමේට වගා කරපු කුඹුරු, ගල් වලින් වැසුනු බිමක කල රබර් වගාව වගේ දේවල් පහලින් බලන්න පුළුවන්. ඉහලදී නම් අපූරු චමත්කාරයක් තියෙනවා. ඒ වටෙන්ම තියෙන මිහිඳුමින් පිරුණු කඳු හා පසෙකින් පෙනෙන මිටියාවත නිසා.
උමං විහාරයක් වෙන මේ විහාරයේ ප්‍රධාන වශයෙන් උමං තුනක් හඳනගන්න පුළුවන්. ඉන් එකක් විහාරගෙන ලෙස සකස් කර තිබෙන අතර අද එහි පිළිම හා සිතුවම් ආරක්‍ෂා කිරීම සඳහා වීදුරු ආවරණයක් දාලයි තියෙන්නේ. අතීතයේ බුජාස්ලෙන ලෙස හඳුන්වපු මෙහි සිතුවම් ආදිය 1780-1793 කාලයේ රාජාධි රාජසිංහ රජුන් විසින් කරවා ඇති බැව් පිලිගැනීමක් තිබේ.
දෙවැනි උමං මාර්ගය කුඩා වන අතර එතුල මඳු දුරක් යා හැකි වුවත් ඉදිරියට යාමේදී කුඩා වෙමින් උමං මාර්ගය අවසන් වෙන්නේ කාලයාගේ ඇවෑමෙන් වැසීයාම නිසා යැයි සිතිය හැක. මේ තුල විශාල නාගරාජයෙකු සිටින බවත් නමුත් මේ වනතුරු කිසිවෙකුට හානිකර නැති බවත් විහාරස්ථානය ආරක්‍ෂා කරමින් රැදී සිටින බව විස්වාස කරයි.
තිබෙන්නා වූ විශාලම උමං මර්ගයේ විවරය අලංකරණය කල මකර තොරණකින් වසා දමා ඇති අතර එය අතීතයේ භික්‍ෂූන්ගේ භාවිතයට ගෙන තිබූ බව කියවේ. එය තුල රහස් උමං මාර්ගයක් තිබූබවත් එමගින් අතීතයේ මෙය දිවා ගුහාව එසේත් නැතිනම් භගවාලෙන සමඟ සම්බන්ධව තිබූ බවට විස්වාසයක් පවතී. උමං විහාරයේ ඉදිරිපස සිට බලන කල මිටියාවත කෙලවරින් ශ්‍රී පාද කඳුවැටිය පවා දකින්නට පුළුවන්.අද මෙහි ඇති ධර්මශාලාව 1952 දී ලෙල්ලොපිටිය වත්තේ ෆෙඩ් කැලැන්ඩර් නම් මහත්මයා විසින් සේවකයන්ගේ ආධාර ඇතිව සාදවා ඇත.

මගේ ගමන් බිමන් හැට තුන්වන කොටස - නිපොන්සන් සාම විහාරය අම්පාර

අම්පාරේ තියෙන බොහෝම සුන්දර වගේම ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ කියන සාම විහාරය. මුලින්ම මම සාම විහාරය ගැන පුංචි ඉතිහාසයක් කියන්නම්.
1885-1985 කාලයේ ජීවත්වුන නිචිදට්සු ෆුජි (Nichidatsu Fuji) කියන බෞද්ධ භික්‍ෂුව විසින් නිපොන්සන් යෝහෝජි (Nipponzan Myohoji) කියන නිකාය ආරම්භ කරනවා. පසුව උන්වහන්සේ 1931දී මහත්මා ගාන්ධි හමුවීමත් සමඟ ලොව පුරා සාමය ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ 1947 දී සාම විහාර නිර්මාණය කරමින්. සාම විහාර, මහායාන බුදුදහමේ සම්ප්‍රදායට ‍බෝධිය, ස්තූපය හා විහාර ගෙය යන නිර්මාණ ඇතුලත්ව ගොඩනගල තියෙනවා. වසර 2000 වෙද්දී ලොව පුරා සාම විහාර 80ක් ඉදිවෙලා තියෙනවා. අපේ පුංචි ලංකාවේ විතරක් සාම විහාර 5ක් තියෙනවා. ඒ අම්පාර, ගාල්ල, ශ්‍රී පාදය, බණ්ඩාරවෙල හා වලප‍නේ යන ප්‍රදේශ වල.
1988 පෙබරවාරි මාසෙ 27 වෙනිදා වැඩ අවසන් වුන අම්පාරේ තියෙන සාම විහාරය තියෙන්නේ හරිම අපූරු තැනක. එක් පසෙකින් අම්පාර වැ‍වට මායිම් වෙලා තියෙනවා. අම්පාර - ඉඟිනියාගල පාරේ කිලෝමීටර 3ක් විතර යද්දී මේ කියන තැනට ලඟාවෙන්න පුළුවන්. විහාර භූමියට ඇතුලත් වෙද්දීම දකින තොරණේ ඉඳන් සෘජු මාර්ගයක් තියෙනවා. එය කෙලවර වෙන්නේ ස්තූපය ලඟින්. නමුත් මෙම භූමියේ නිරතුරුව වල් අලි ගැවසෙන නිසාවෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔවුන් වතුර හෙයාගෙන වැවට එන නිසා ඔවුන්ගෙන් කරදරයක් නැතත් වන ජීවීන්ගේ නිදහසට බාධා නොකර ඉන්නවා නම් තමයි ගොඩක්ම හොඳ.
සවස් කාලයේ විහාරගෙය තුල ධර්ම දේශනා පවත්වන අතර ඉන් අනතුරුව ජපන් ස්වාමීන් වහන්සේ නමක් විසින් බෙදාදෙන රසකැවිලි නිසාවෙන් බොහෝමයක් කුඩා දරවන්ගේ මුවින් තුල සාම චෙත්‍යය යන ස්ථානය ගැන නිරතුරුව කියවෙනු ඇසිය හැක. සාම විහාරයේ නිර්මාණ විශේෂත්වය හා අවට පරිසරයේ ස්වභාවිකත්වය නිසාවෙන් අපූරු රූපයක් මවන මෙම ස්ථානය සිත සැහැල්ලු කරගැනීමට මනා ස්ථානයක් බැව් කිව යුතුමය.

ලංකාවේ ලොකුම පුද්ගලික මුදල් කෞතුකාගාරය (මම දැකපු)

ලංකා‍ව වටේ ඇවිදිමින් යන අතරේ මගේ සහෘදයකුගේ හැඳුනුම්කම නිසා හමුවුන මේ වටිනා ස්ථානය තියෙන්නේ කෙ‍ාහෙද, බලන්න පුළුවන්ද යන දේවල් නම් අහන්න එපා. මගේ ලිපි වල පළවෙනි වතාවට ගියපු තැනක විස්තර නොලියන්නේ. ඒ පිළිබඳව සමාව අයදිනවා වාගේම එහෙම කරන්න හේතුවත් කියන්න ඕන කියල මට හිතෙනවා. මම මේ තැනට ගියේ මහ ලොකු දැනුමක් දැනගෙනවත් මුදල් පිළිබඳ දැනුමක් ඇතිවවත් නෙවෙයි. ඒ වගේම මේ තරම් විශාල වටිනකමක් හා හොඳ එකතුවක් ඇති කියලවත් දැනගෙන නෙවෙයි. වෙනත් ගමනක් යන අතරේ සිදුවුන අහම්බයක් නිසාවෙන් මේ පිළිබඳ ගොඩක් ඉගෙන ගන්න වෙලාව නොතිබුනත් අප නොදන්න ගොඩක් දේ දන්න මහත්මයෙක් තමයි මට එතැනදී හමුවුනේ.
මෙතැනින් පස්සේ මම කියන්නම් ඔහු ගැන. එහු එක්තරා අපූරු පුද්ගලයෙක්. ඔහුගේ විනෝදාශය වන්නේ මුදල එකතු කිරීම. එයත් ලංකාවේ පැරණි කාලයේ සිට වර්තමානය දක්වා භාවිතා වුන මුදල්. එහෙමත් නැතිනම් ඔහු කියන්නා සේම "සල්ලි". අනිත් දේ තමයි ඔහු සතුව ඇති මුදල් පිළිබඳ ඇති ඉතිහාස දැනුම. මම අත්දුටුව හැටියෙන් කතාව කියන්නම්. මුලින්ම ම මගේ හිතවතා මාර්ගයෙන් ඔහුගේ නිවසට ඇතුළු වෙද්දී සාදරයෙන් අප පිළිගත් ඔහු අප පැමිණි කාරණාව කිව්ව සැනින් ඇසුවේ "අපූරුයි! නමුත් ඔබ මොනාද මුදල් ගැන දන්නේ?" කියායි. "මම මොකුත් දන්නේ නෑ සර් මම ඒ ගැන උනන්දු වෙලා තිබුනේ නැහැ" මම කිව්වා. "ඉතින් එහෙනම් මට මුල ඉඳන් කියන්න වෙනව. හොඳයි ඔබ අහල තියෙන පරණම සල්ලි එහෙම නැත්තම් මුදල මොකක්ද?" ඔහු ඇහුවා. මම එක්වරම කීවේ "කහවණු" කියලයි. එතැනින් පස්සේ සිහින් සිනාවක් ඇඳුනු මුහුණක් සහිතව "අපි යමු උඩට" කියමින් අප සමඟ උඩ තට්ටුවට යන්න වුනා. ඔහුගේ නිවසේම තිබුණු අපූරු කෞතුකාගාරය දකින්න ලැබුණේ එතැනදියි.
අතීතයේ ඉඳන් වර්තමානය දක්වාම වර්ගීකරණය කල සල්ලි සහ වර්තමානයේ භාවිත වන සල්ලි විශාල ප්‍රමාණයක් තිබුණා. එතැනදී කහවණු සත්‍ය වශයෙන්ම දැක්කා වාගේම අහල විතරක් තිබුණ මසුරන්, අගුටුමස්ස, තුට්ටුව, දොයිතුව වගේ කාසිත් මම නම් ‍දැක්කේ මෙතැනදී විතරයි. ජාතික මුදල් කෞතුකාගාරයෙන් පත්තර වල දැන්වීම් දමමින් සොයන කාසි මොහු ලඟ තියෙනවා දැකීමෙන් මා තුල උනන්දුව වාගේම ඔහුගේ ධෙර්යය හා කැපවීම පිළිබඳ ගෞරවයක්ද ඇති වුනේ නිතැතින්මයි.
ඒ විතරක් නොවෙයි අතීත රජ දවස භාවිත කල ඇඳන්, පළමුව ලංකාවේ භාවිත වූ ප්‍රක්ෂේපණ යන්ත්‍ර, මහණ මැෂින් හා කැමරා පවා හුගේ එකතුව තුල තිබුණා. ලංකාව තුල දක්නට නෙ‍ාලැබෙන ගෝත්‍රික මුහුණු හා ඉතා වටිනාකමක් ඇති පුරාවස්තු රැසක් ඔහු විසින් එක්රැස් කරගෙන තිබුනා. ඔහු ඒ දේවල් ඉතා පරෙස්සමින් සුද්ධ පවිත්‍ර කරමින් රැක බලාගන්නේ මහත් වූ ආදරයෙන්. එහිදී මා දුටු දේ ඔහුගේ අවසරයෙන් ඡායාරූපගත කරන්න ලැබීමත් ඉතා භාග්‍යයක්. නමුත් ඔහුගේ ඉල්ලීම වූයේ කිසිවිටෙකත් ඔහුගේ අන්‍යතාව හෙලිකමින් ලිපි ලියන්න එපා යන්නයි. එයට හේතුව මේ දේවල් වල ආරක්‍ෂාව හා මේ දේවල් බලන්න මිනිසුන් ආවොත් ඔහුගේ අධ්‍යයනයන්ට සිදුවන බාධාවයි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම නිසාවෙන් මට ඒ දේවල් නම් හෙලිකරන්න බැහැ. පළවෙනි වතාවට ඔහුගේ කෞතුකාගාරයේ ඡායාරූප ගැනීමට අවසර ලැබුණේත් මට විතරක් වුනේ මා හා ගිය මිතුරාගේ ඇඳුනුම්කම් ප්‍රමාණය නිසාවෙන්මයි.