අද ලියන්න යන ගීතය සමාජයේ එක පැත්තක දුක් ගැනවිල්ලක් ගැන කියවෙන ගීතයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ ඇගලුම් කාර්මාන්තයේ නියුතු තරුණියන් සම්බන්ධව තිබෙන්නා වූ ඛේදාන්තය. ඔවුන්ගේ ජීවිත කොයි තරම් දුක් කම්කටොලු වලි පිරී ඇත්දැයි බාහිර සමාජය නොදන්නා තරම් වෙනවා. බන්දුල නානායක්කාරවසම් ගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් එක්ක හැදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් විසිනුයි. මේ ගීතයේ කියැවෙන කතාන්දරයට අතිශය සාධාරණයක් සංගීතයෙන් කරල තියෙනවා කියන එකයි මගේ හැගීම.
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
ඇගලුම් කර්මාන්තයේ නියුතු අය ගැන සොයා බැලුව ඕනම කෙනෙක් දන්නා දෙයක් තමයි එහි දවල් කාලයේ වැඩ වාගේම රාත්‍රී කාලයේත් වැඩ කරන්න සිදු වෙන බව. සමහර වෙලාවන් වලදී ඇණවුම් සම්පූර්ණ කිරීම සදහා නොනිදා වැඩ කල යුතු අවස්ථා එනවා. මේ එවැනි අවස්ථාවක තරුණියකගේ ස්වභාවයයි විස්තර කරන්නේ. ඇගලුම් කර්මාන්තයේ නියුතු තරුණියන් වඩාත් ලස්සනට හැද පැළදීමට වඩා කැමැත්තක් දක්වනවා. උදේ මලක් වගේ ලස්සනට එන තරුණිය නොවෙයි රාත්‍රි වැඩමුරය කරල යන්නේ. ඇයට තමන්ගේ රූප ස්වභාව ගැන අමතක වෙනවා. ඇගේ මුව පරවෙච්ච මලක් වගෙයි. ඉර එලිය වැටීගෙන එන වෙලාවේදී සද නොපෙනී යනවා. එලිය තියෙන වෙලාවේ ඇගේ සුන්දරත්වය ලෝකය දකින්න ඕන වෙලාවේදී ඇයට නින්දට යන්න වෙලාව ඇවිත්. එයට හේතුව ඇය රාත්‍රිය පුරා වෙහෙස වී වැඩ කල නිසා. ඇය බොහේම ලස්සන වුනත් ඇය පෙර කල පව් නිසා ඇයට ඒ ලස්සන ලෝකයට පෙන්වන්න වෙන්නේ නැහැ.ඇයත් ඒ සද වගේ ආලෝකය වැටෙන වෙලාවේදී සැගවෙනවා.
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ
ඇගලුම් වැඩ කරන්න ගිය මේ තරුණියන් බොහෝ දෙනෙක් දුවන්නේ සහ දුවවන්නේ ඉලක්ක පස්සේ. තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න වැඩි මුදලක් උපයන්න කියන සිතිවිලි එක්ක ඔවුන් තව තවත් වැඩ කරනවා. මහන්න යන තරුණියකගේ ඇගිලි වලට කවදාවත් නිවාඩු ලැබෙන්නේ නෑ. ඒ ඇගිලි වැඩ නොකලොත් ඇගිල්ල පවා මැෂින් එකට මැහෙනවා. ඒ තරම්ම වැඩ ගොඩක් ඔවුන්ට තියෙනවා. ඇගලුම්හලේ සහ නිවස ඇතුලේ ගෙවෙන ජීවිතයක් තමයි මේ තරුණියට තියෙන්නේ. ඒ නිසා මේ තරුණියගේ ලස්සන විදුලි බුබුලු වලින්ම දියවෙලා යනවා. ඒ ලස්සන දකින්න තරම් අයෙක් නැහැ. මේ තරුණියන්ගේ ජීවිතයේ සුන්දර ම කාලය තරුණ කාලය පෙම්වතෙකු සමග ආලය කරන්න හෝ කෙනෙකුගේ ආදරය ලබන්න තරම් සුන්දර වෙන්නේ නැහැ. බොහෝ විට මෙම තරුණියන් කෙහෙන් හෝ පැමිණි කාමාතුරයෙකුට ගොදුරු වෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ජීවිතයේ හොදම කාලය මේ විදිහට දියවෙලා යනවා. මේ සියල්ල උහුලාගෙන මේ තරුණියන් හිතෙන් මොනතරම් හඩනවාද... ඒ ගැන දැන්ගන්න නම් මේ තරුණියන් සමග අවංකව කතා කරන්න ඕන. එහෙම කලොත් ඔවුන් මොනතරම් හිතින් දුක් විදිනවා ද කියන එක දැනගන්න පුළුවන්. එවිට රචකයා මතක් කරනවා ඇගලුම්හලෙන් එන මැෂින් වල ශබ්දයද මේ එන්නේ නැතිනම් මේ තරුණියගේ හිත හඩන ශබ්දයද එන්නේ කියල. ඇත්තෙන්ම ඇය හැඩුවොත් ඒ තරම් විශාල ශබ්දයකින් කෑ ගහල හඩන්න තරම් දුකක් ඒ තරුණියන්ගේ හිතේ තියෙනවා කියන එක රචකයා මතක් කරල දෙනවා.
නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
තරුණියගෙන් අවසානයේ විමසීමක් කරනවා. සයුර පෝෂණය කරන්නේ ඔබේ කදුලැලි වලින්ද ඒ තරම් ඇයගෙන් වැටුන කදුලු ප්‍රමාණය වැඩියි. දුක් වෙන සුසුම් හෙලීම කොතරම්ද යත් ඒ සියල්ල එක්වී සුලගක් වෙලා හමනවාද කියලත් අහන්නේ ඇගේ දුක කොයි තරම්දැයි සීමා කල නොහැකි තරම් බව රචකයා තේරුම් ගන්නට උත්සාහ දරණ නිසා විය යුතුය. ඇගේ තනියක කිසිවෙක් නැහැ. කෙනෙක් ආවත් එන්නේ අැය වෙනුවෙන් දුක් වන්නට නම් නොවේ. එ් නිසා ඇගේ තනියට ඉතිරි වන්නේ සෙවනැල්ල පමණයි. එනිසා ඇය ඇගේ ජීවිතය තනිවම ගොඩ නගා ගත යුතු වෙනවා. ඇය මේ ඇදුමක් කියල මහන්නේ එනම් සකසා ගන්නේ ඇගේ ජීවිතයද කියන එක රචකයා විමසනවා. ඇය ඇදුම කොයිතරම් හැඩ වැඩ කරනවාද ඒ වගේ ඇය ජීවිතය හැඩ කරගන්න හදනවා. ඔවුන්ගේ ජීවිතය ඒ තරම් කදුලු අතරින් වුනත් හදා ගන්න තමයි කොයි තරුණියත් හදන්නේ.
මේ ගීතය ඇතුලේ අපූර්ව සමාජ පැතිකඩක් විදහා දක්වනවා කියන එකයි මගේ නම් හැගීම වන්නේ. කොහොම වුනත් ගීතය තුල ඇති අපූර්වම පද පේලිය විදිහට මම නම් දකින්නේ "මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ" කියන තැන තිබෙන විමසීම කියලයි මට නම් හිතෙන්නේ. මේ අපූර්ව ගීතයත් නිස්කලංකව ඉන්න වෙලාවක අහල බලන්න කියල මම ආරාධනා කරනවා...
මේ ගීතය ඇතුලේ අපූර්ව සමාජ පැතිකඩක් විදහා දක්වනවා කියන එකයි මගේ නම් හැගීම වන්නේ. කොහොම වුනත් ගීතය තුල ඇති අපූර්වම පද පේලිය විදිහට මම නම් දකින්නේ "මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ" කියන තැන තිබෙන විමසීම කියලයි මට නම් හිතෙන්නේ. මේ අපූර්ව ගීතයත් නිස්කලංකව ඉන්න වෙලාවක අහල බලන්න කියල මම ආරාධනා කරනවා...
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ
රෑ වැඩ මුරය ...
නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
ගී පද : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!