මහා කාලෙකට පස්සේ තමයි මාදු ගඟ පැත්තේ රවුමක් යන්නේ. මුලින්ම කියන්නම් මාදු ගඟ ගැන පුංචි පහේ විස්තරයක්. අතීතයේ වැලි ගඟ විදිහට නම් දරාපු මාදු ගඟ අක්කර 138කින් වැසිල තියෙන ජල තලාවක්. 2003 අවුරුද්දේදී රැම්සා තෙත් බිමක් විදිහටත් අභය භූමියක් විදිහටත් නම් කරපු මේක අද විශාල විදේශිකයන් පිරිසක් නරඹන්න එන තැනක්. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටියට අයිති මේ ගඟ කොලඹ ගාල්ල මාර්ගයේ 50 වන සැතපුම් කණුව ලඟින් මුහුදට වැටෙනවා. මේ සම්බන්ධව ඓතිහාසික සිද්ධින් ගොඩක් තියෙනවා.
භූමිකම්පාවකින් පොළව අභ්‍යන්තරයෙන් ජලය ඇවිත් මේ ජලාශය නිර්මාණය වුන බවක් කියනවා. කිසි විටෙක ජලය නොසිෙඳෙන මේ සඳහා ස්වභාවික වශයෙන් ජලය ගලා එන ජල පොෂක වනාන්තරයක් නොමැති අතර ඒ ලඟින් තියෙන පොල්අතු කන්ද මේ තරම් විශාල ජලාශයක් පෝෂණය කරන්න තරම් දිය උල්පත් තියෙන එකක් නෙවෙයි. සිදත් සඳරාවේ කේරළයන් හා දේවපතිරාජ ඇමතිවරයා අතර යුද්ධයෙන් මෙම මාදු ගඟ රත්පැහැ වූ බවත් කියවේ. තවද තිසර සන්දේශයේත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ ගිරා සංදේශයේත් මෙම ගංගාව පිළිබඳ ලියවී ඇත.
අප රටට පමණක් ආවේණික වුන කඩොලාන ශාක 19ක් විතර මේ ප්‍රදේශයේ තියෙන අතරම වඳවෙලා යන ශාකයක් මේ අවට ප්‍රදේශයේ ව්‍යාප්තව තිබීම විශේෂත්වයක්. මේ අවට පක්‍ෂි විශේෂ 111කුත් මතස්‍ය විශේෂ 70කුත් උරග විශේෂ 31කුත් ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමනල් විශේෂ 50ක් ගොලුබෙලි විශේෂ 25ක් ගොඩබිම වෙසෙන අපෘෂ්ඨ වංශීන් 1කුත් කිවුල් දිය වෙසෙන අපෘෂ්ඨ වංශී විශේෂයකුත් දකින්න පුළුවන්. ඒ ඔක්කොම ගත්තාම සියළු පෘෂ්ඨ වංශීන් ප්‍රමාණය 248කුත් ජීවත් වෙනවා. එයින් 20ක්ම ලංකාවට ආවේණික සතුන්. තවත් දෙයක් තමයි වඳවී යාමේ තර්ජනයට ලක්වුන සත්ත්ව විශේෂ 30ක් මේ කලාපයේ ජීවත් වෙනවා. ඉතින් මේ සා විශාල ජෛව විවිධත්වයක් තියෙන සම්පතක් තමයි මාදු ගඟ කියන්නේ.
අතීතයේ දූපත් 64ක් විතර තිබුනා කියල කිව්වත් දැන් නම් සමහර දූපත් ජලයෙන් යටවෙලා සහ සමහරක් අනෙක් දූපත් එක්ක සම්බන්ධ වෙලා. මේ දූපත් නිසාම ලංකාවේ ගංගාවක තියෙන වැඩිම දූපත් ගණන මාදු ගඟ හිමි කරගෙන තියෙනවා. මේ අතරින් විශේෂම තැනක් ගත්ත දූපත් කීපයක් තියෙනවා.එතැනින් මාදූව විශාලම දූව විදිහටත් සතපහේ දූව කුඩාම දූව විදිහටත් හඳුන්වන්න පුළුවන්.නමුත් මේ සියල්ල යටපත් කරමන් විශේෂ තැනක් ගන්නේ කොත්දූවයි. ඒ දළදා වහන්සේට මුලින්ම රැකවරණය දුන් ස්ථානය වන්නේ මේ කොත්දූව නිසාවෙනි. එනිසා මේ ඒ ගැන පුංචි විස්තරයක්.
අක්කරයක පමණ භූමියකින් හෙබි මෙම ස්ථානයේ හේමමාලා හා දන්ත කුමරු ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවද්දී පැවති යුධ තත්ත්වය නිසාවෙන් රෝහණ දේශයට පැමිණ වැලි තොට ආසන්නයේ වරායෙන් ගොඩ බැස රට තුලට අවුත් මාදු ගඟ ආසන්නයේ කොත් දූවේ වැලි වලින් සෑදූ දාගැබක සිරි දළදා වහන්සේ නිධන් කොට පුද පූජා පවත්වමින් රැක යුද්ධය අවසානයේ අනුරාධපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරි නැමූබව ඉතිහාසයේ සඳහන් වේ. මෙහි ඇති ඓතිහාික බෝධිය අවුරුදු 2320ක් පැරණි මහන්දාගමනයේදී මෙරටට රැගෙන ආ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගැනනු දෙතිස්ඵලරුහ බෝධීන් වහන්‍ෙසේලාගෙන් අවසානය වන ඇඹලව රහත් ගල් වෙහෙර රෝපණය කල බෝධීන් වහන්සේයි.
වර්ථමානයේ ලංකාවේ දූපතකට සම්බන්ධවුන දිගම පාලම සම්බන්ධ වී ඇත්තේද මෙම මාදූවට වන අතර ලංකාවේ දූපත් දෙකක් අතර දුම්රිය ධාවන සිදුවන්නේද මෙහි ඇති දූවේ මෝදර හා පාතමුල්ල දූව අතර වීමද විශේෂත්වයකි. මෙම පාතමුල්ල දූව හරහා කොළඹ මාතර දුම්රිය මාර්ගය නිර්මාණය වී ඇති අතර එහි දුම්රිය නැවතුමක්ද ඇත. තවද මෙහි රත්මිල්ල නැමැති කඩොලාන ශාකය ගස් 50ක් පමණ ඇති මුත් ඒ එකක වත් මල් නොපිපීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මගේ ගමනේදී කොත්දූව, කොත්දූවේ ඇති කරන දඬුලේනුන් කුඩාම දූව වුන සතපහේ දූව හා වියන යටින් යන්න ලැබුණු අතර පරිසරයේ අපූර්වත්වය විඳිමින් සමහර දූපත් වලට ගොඩවන්නටද ලැබුණි. ධීවරයන් හා විවිධ කුරුල්ලන් දකින්න ලැබුණ අතරම අපූර්ව මත්‍යය සම්බාහන මධ්‍යස්ථානයද විශේෂ වුනත් අපි ඒකට නම් යන්න උත්සාහ ගත්තේ නැහැ. කොහොම වුනත් ගමනේ අවසානය සනිටුහන් කලේ කට්ටිය වතුරට පැනල ජල ක්‍රීඩා කරල. මම නම් ඒවට ගියේ නැත්තේ මාදු ගඟ ඒ තරම් විස්වාස තැනක් නොවුන නිසාවෙන්.
No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!