මගේ ගමන් බිමන් අටවන කොටස - පතල් කර්මාන්තය දකින්න

මේ කියන්න යන්නේ මගේ විශ්ව විද්‍යාලයේ දීපු කෙටි නිවාඩුවට රත්නපුරයේ ඉන්න යාළුවෙක් බලන්න ගිය ගමන් දැනගත් විස්තරයක්. මේ රත්නපුරේ දෑල නමින් හඳුන්වන ප්‍රදේශය. මේ ප්‍රදේශ වල අයට වතුරෙන් නම් අඩුපාඩුවක් නැහැ. ඒ උල්පත් ජලය නිසා. පැය විසිහතරම විවෘත ජල කරාම තමා තියෙන්නේ. මේ කොළුවාගේ දුප්පත් අගහිඟකම් තිබුනත් ආගන්තුක සත්කාරය නම් ඉහලින්ම තිබුනා. මේ මිතුරාගේ නිවස කන්ද අතරමැද තියෙන්නක්. පහලින් ගඟ ගලන අතර ඊට එපිටන් පෙනෙන කන්න උදෑසනට හා සවස්යාමයට වැසීයන මීදුම නිසා මනස්කාන්ත දර්ශනයක් තමා මැවෙන්නේ. හැබැයි ඉතින් පුංචි රවුමක් දාල එද්දී කූඩැල්ලෙක් එල්ලෙන එක නම් වරදින්නේ නෑ. ඒකට හේතුව දිගටම තියෙන තෙතමනය සහිත බව. මේ ප්‍රදේශවල වැඩිදෙනා රැකියාවන් විදිහට පතල් කර්මාන්තය, තේ හා රබර් වගේ දේවල් තමා කරන්නේ. දැන් කියන්නම් පතල් කර්මාන්තය ගැන පුංචි විස්තර ටිකක් හැමෝටම දැනගන්න.
අවසන් කල පතලක්
පකල් සඳහා කපා දැමූ දැව කොටන්










පතල් කර්මාන්තය කියන්නේ ගොඩක්ම අන්තරාකාරී රැකියාවක්. ගොඩාක් වෙලාවල් වලදී අනතුරු වෙලා ජීවිත හානි සිද්ධ වෙලා තියෙන්නේ දෝනා කඩා වැටීම නිසා. මේ පතල් වලදී මුලින්ම කෙරෙන්නේ ඉල්ලම් ඇතැයි සැක කරන ප්‍රදේශය මධ්‍යයේ හතරැස් ලිඳක් කපන එක. මේ ලිඳට කියන්නේ දොරුව කියලයි. මෙම දොරු තනි කුටීරය හා කුටීර දෙක විදිහට හතර රියන් හා අටරියන් විදිහට තමා සෑරීම් කරන්නේ. මේ පතල් පොල අයිතිකරු අප්පෝ නමින් හඳුන්වන අතර කළමණාකරු, වැඩ ප්‍රධාන හා සේවක විදිහට තුන් මට්ටමක පුද්ගලයන් මෙහි වැඩ කරනවා. සාමාන්‍යයෙන් මැණිකක් හමුවුනොත් විකුණුම් මිලෙන් ලක්‍ෂයකට දෙදහසක් තමා සේවකයෙකුට හම්බෙන්නේ. මිට හමතරව හවුල විදිහට තවත් කොටසකුත් ලැබෙනවා මැණික හමුවුන කෙනාට. කළමණාකරුවන්ට හා වැඩ ප්‍රධානියන්ට ලැබෙන මුදල වැඩි අගයක් වෙනවා.
හතර රියන් දොරුවක්
අටරියන් දොරුවක්
අටරියන් දොරුවක්

දොරුව තුල ලී හරස්කරමින් තට්ටු බඳින අතර ඉහල තට්ටු අතර පරතරය අඩි 2 1/2 හෝ 2 ක් වන අතර පහලට යද්දී අඩියක් හෝ අඩි 1 1/2 ක් විතර වෙනවා. මුලින්ම තට්ටු හෙවත් කට්ටතන් තට්ටු, තට්ටු දෙකක් පහත් කරල ඊට පස්සේ තමා තට්ටුව බැගින් පහත් කරන්නේ. මුල් හරියේදී දවසකට කපන්නේ අඟල් දෙක තුනක ප්‍රමාණයක් විතරයි. ඒ පොළව දැඩි නිසා. ඉල්ලම් තියෙන උපරිමය කියන්නේ මාලාව එනකම් කියලයි කියන්නේ. එතැනින් පස්සේ තියෙන්නේ පාරුගල.  ඒ කියන්නේ ලෝකයේ යා හැකි උපරිම ගැඹුර කියලයි කියන්නේ. දොරුව අවසානයේදී එතැන් ඉඳන් වටේට දෝනා කැපීම ආරම්භ කරනවා. මේ දෝනා ඉඩම පුරාම විහිදෙන අතර ඉල්ලම තිබෙන පැත්තට දොනාව කැපීම වෙනස් කරනවා. ගසක අතු බෙදෙන්න වාගේ දොරුව ඇතුලේ දෝනා කැපීමත් සිද්ධ වෙන්නේ ඉල්ලම විසිරී තියෙන විදිය අනුව. 
ගැරුම් වලක
ගැරීම


තට්ටු දමන්න රබර් ලීත් තට්ටු සවි කරන්න පුවක් හෝ කිතුල් පටිත් දෝනා සවිකරන්න කිතුල් ලී හෝ රබර් ලී යොදා ගැනීම කරනවා. සමහර දොරු තට්ටු 100ක් විතර වෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ අඩි තුන්සියයක් විතර. දොරු මුදුනේදී පතුල පේන්නේ නැති තරම් වෙනවා වාගේම පතුලේදී දොරු කට ගිණිපෙට්ටියක් වාගේ තමා පෙනෙනවා කියන්නේ. පතලක් ඇතුලට යන්න ගෙදරින් අවසරයක් ගන්න බැරි නිසා ඒ ඇතුල කොහොමද කියල හරියටම විස්තර කරන්න නම් බෑ. කොහොම උනත් දොරු සෑරීම අවසානයේදී ඒ අතුලට බහින්න කලින් පහනක් හරි පන්දමක් හරි දාල විශ වායූන් තියෙනවාද බලනවා. ඊට පස්සේ දුම් ගහල විශ වායූන් ඩවත් කරල තමා දොරුවට බහින්නේ. සාමාන්‍යයෙන් මුල්ම දෝනාව කැපීම නැකැත් බලල තමා කෙරෙන්නේ. හැම දොනාවක්ම සිඳිම සඳහා නල යොදල ඒවාට සවිකල මෝටර මගින් වලවල් ඉසීම සිද්ධ කරනවා.
පතල් වාඩියක්
ගැරුම් මඩුවක්
පතල් වාඩියක්
ගොඩ දමන ඉල්ලම් පස ගැරුම් මඩුව නමින් හැඳින්වෙන සකසා ගත් කුටීරයකට දමනවා. තවත් ඒ ඉල්ලම් පස ආසන්නයේම ඇති පස වෙනමම ගැරීම සඳහා වෙන්කරල තියා ගන්නවා. සමහර අවස්ථා වලදී දෝනා අවසානයේ නැවතත් දොරු සෑරීම සිදු කරන අවස්ථාත් තියෙනවා. ඉල්ලම් පස් ගොඩ දැමීම අවසාන වෙන්නේ ගැරුම් මඩු එකක් හෝ කීපයක් පිරුනාම. ඒක ගරල අවසානේ තමා අනික සාරන්නේ. ගැරීම සිද්ධ වෙන්නේ හතර රියන් වන හතරැස් ගැඹුර අඩි තුනක් හෝඩ හතරක් වෙන වලක් ඇතුලේ. මෙතැනදී සමහර වෙලාවලදී හමුවන මැණික් ගරන්නන් විසින් සඟවා ගන්නා අවස්ථාත් තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට නම් අවංකව රැකියාව කරන්නන් තමා හිඳින්නේ.
දොරුවක් කණිමින්
කෙසේ වෙතත් පඩි ගෙවීමේදී සුමාන සල්ලි නමින් හැඳින්වෙන විදිහට ගෙවන මුදල සතියකට රුපියල් 150ක්ද ආහාර සඳහා විදිහට රුපියල් 200කුත් වැඩ ප්‍රධාන පළවෙනියාට රුපියල් 500ක්ද දෙවැනියාට රුපියල් 1000ක්ද ගෙවීම් කෙරෙනවා. ගොඩාක් වෙලාවට පතන් කැනීම නීති විරෝධී විදිහට කෙරුනත් අවසරලත් පතල් හිමියනුත් ඉන්නවා. තවත් මේ පතල් කර්මාන්තය එක්කම කෙරෙන දෙයක් තමා ගඟ හාරමින් කරන නීති විරෝධී මැණික් ගැරීම. ඒ වාගේම තමයි වැලි ගොඩ දැමීම. මේ දේවල් නිසා නම් වෙන විනාශය ගොඩක් වැඩියි. පතල් අවසානයේ ඒ පතල් අත්හැර දමනවා. කාලයත් එක්ක ඒ ඉඩම් වල ගිලා බැසීම් ඇතිවෙන්නේ දෝනා වල හරස් කල ලි දඬු දිරායාමත් එක්ක.
ගඟ හරහා
පතල් පොල










මම පතල් බලන්න යන වෙලාවේදී හිටියා වයසක මනුස්සයෙක් පොලව හූර හූර. මම ඇහුවා ඇයි ඒ කියල. එතකොට කිව්වේ පුතා, මේ පොලවේ කොතනත් මැණික් තියෙනවා. වාසනාව අනුව උඩ ඇවිත්  තියෙන්න පුළුවන්. ඒදණ්ඩකින් ගඟෙන් එතෙර උන අපි අයිතිකරු එනකන් බලන් හිටියා. ඒ අතරේ තවත් විස්තර අහගන්න පුළුවන් උනා. මේ අය කියනවා උඩින් පොලවේ දුරට වඩා යටින් දුර අඩුයි කියලා. ඒකෙන්ම සනාථ වෙනවා ලෝකය ගොලාකාරයි කියන එක. තවත් කෙනෙක් කිව්වේ අපි තමා ලෝකේ පතුල දකින මිනිස්සු කියල.


ගමන් බිමන් වල සත්වන කොටස.....

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!