මගේ ගමන් බිමන් දාහතරවන කොටස - මැදිරිගිරිය වටදාගෙය


මැදිරිගිරිය වටදාගෙය තියෙන්නේ මැදිරිගිරිය නගරයෙන් අඹගස් වැව මාර්ගයේ කිලෝමිටර 3ක් විතර ගිය පසුයි. මෙය ලංකාවේ ඇති ලස්සනම වටදාගෙය ලෙස සැලකොන අතර මෙහි තිබුනා යැයි සැලකෙන වහලේ ආකෘතිය ලංකාවේ ඇත්තේ තවත් එක් තැනෙක පමණෙකි. ඒ අත්තනගල්ල විහාරයේයි. මෙහි ඉතිහාසය පළමුවන අග්බෝ රජු සමය දක්වා විහිදෙන අතර පසු කලෙක මෙය සිව්වන අග්බෝ රජ විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බවත් කියවෙනවා.මෙතැනට ඇතුල් වෙද්දීම අපට එකල බිසෝවරුන් දිය නෑමට භාවිතා කල පොකුණ දකින්න පුළුවන්. එතානින් ඉහල බලද්දි අපට ගුහාවක් දකින්න පුළුවන්. එය තුලින් අනුරාධපුරය දක්වා මාර්ගයක් වැටී තිබූ බවත් හදිසි ප්‍රහාර තත්ත්වයක් ඇතිවුවහොත් සැඟවී පලායාමේ හැකියාව ලබා ගැනීම අරමුණු වූ බවත් කියැවේ. මෙම ගුහාව ඉදිරිපස දොරටුවක්ද තිබූ බවට සලකුණු දකින්න තියෙනවා.


නමුත් පූජා භුමියට ඇතුළු වෙද්දී නම් දකින්න ලැබෙන්නේ කිසිඳු රටාවක් හෝ  නිරිමාණයක් නොමැති සඳකඩ පහණකි. එය පසෙක භික්‍ෂුන් වහන්සේලාගේ පා දෝවනය සඳහා සකසන ලද ශෛලමය දිය බඳුනක් ද දකින්න පුළුවන්. මෙහි ඇති ගල් පඩිපෙල මුදුනට යාම සඳහා පඩිපෙළ සකසා ඇත්තේද ශෛලමය තලාවේමයි. තවද ඇතුලතත් කුඩා ප්‍රමාණයේ පොකුණක් දකින් පුළුවන්. තවද මෙහි ඇති ගල්තලාවේ යටින් තවමත් මාළිගය ඇති බවත් එයට යාම සඳහා ගුහාවෙන් මාර්ගයක්ද ඇතුලත ඇති කුඩා පොකුණෙන් මාළිගය තුලට ජලය නෙලිය බැව්ද කියැවේ. මෙම ශෛලතාලාවේ සමහර තැන් වල බොල් හඬක් නිකුත් වෙන බවත් ඒ ඇතුලත ඇති මාලිගාව නිසා බවත් කියැවේ.

තවද මෙහි ඇතුලට යාමේදී දකින්න පුළුවන් කරුණක් නම් මෙහි ඇතුලත නිර්මාණ ක්‍රමය පිටත නිර්මාණ ක්‍රමයට වඩා වෙනස් බවයි. එය මුල් රජතුමාගෙන් පසුව කාලයක් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවූ බවට සාක්‍ෂ්‍ය දරයි. උදාහරණ ලෙස එහි ඇතුලත ඇති සඳකඩ පහන් වල කුඩාවට මොස්තර ක්‍රමයක් දකින්න පුළුවන්. තවද ලංකාවේ ඇති පැරණිම යැයි සලකන බෙහෙත් ඔරු දෙකෙන් එකක් මෙහි දකින්න පුළුවන් වීමත් විශේෂත්වයක්. මෙහි ඇත්තාවූ පිළිම ගෙය තුල ඇති කඩා බිඳ දැමූ පිළිම අප හෙළ ඉතිහාසය විනාශ කරන්නට වෙර දැමූ නිදන් හොරුන් ඇතුළු විවිධාකාර පුද්ගලයන්ගේ ස්වභාව පෙන්නුම් කරයි. තවද මෙය තුල එකල බිසෝවරු විනෝදය සඳහා භාවිත කල ඔළිඳ පෙතක්ද දකින්න පුළුවන්.

තවද මේ ප්‍රදේශය පිළිබඳ ගවේශණයේදී නටඹුන් වූ ඖෂධාගාරයක්ද පොකුණක්ද දකින්න පුළුවන්. එකල භාවිත කල ශෛලමයව තැනූ වැසිකිලියක්ද දකින්න පුළුවන්. මේ සියලු දෑ දකින විට අපේ හෙළ කලාකරුවාගේ දක්‍ෂතාවය අපට මැනෙවින් දකින්න පුළුවන්. නමුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක් නම් මේ සියළු දේ විනාශ  වෙමින් පවතිනවා. නමුත් මේ ප්‍රදේශ නරඹන්නන් හා වන්දනාමානය සඳහා පැමිණෙන පුද්ගලයන් විසින් මෙම ප්‍රදේශයට කරන්නා වූ විනාශයන් නවත්වා ගැනීම නම් අප සැමගේම වගකීමක් ලෙස ඉටුකරනවා නම් තමයි හොඳ.

ගමන් බිමන් වල දහතුන් වන කොටසට......

අපේ උරුමයන් අපට අයිති නැද්ද?


මම මේ කියන්න යන්නේ ඉතා කණගාටුදායක මට වුන කතාවක්. මම පසුගිය දවසක (2012/09/13) ගියා සීගිරිය බලන්න. ඒ මගේ හුඟ කාලයක චාරිකා සංවිධාන ප්‍රතිඵලයක් විදිහට. මමත් එක්ක තව යාළුවන් තුන්දෙනෙක් මේ ගමනට සහභාගී වුනා. ඒ ගමන ගැන විස්තර වෙනනමම ලිපියක් විදිහට දෙන්නම්. ඒත් එහි ඇති කෞතුකාගාරය බලද්දී එය බලන්න තවත් කීප දෙනෙක් ආවා. ඒ පොදු රාජ්‍ය මණ්ඩල මන්ත්‍රී මණ්ඩලය හා පිරිසයි.

අපි කෞතුකාගාරය ඇතුලට යද්දීම කැමරා හා දුරකථන විසන්ධි කරන්න. ඇතුලේදී ඡායාරූප ගැනීම තහනම් යැයි කෑගැසීමක් ඇහුනේ කෞතුකාතාර ආරක්‍ෂකයින්ගෙන්. ඒත් අපි ඒය ඇතුලේ ඉන්න විට පැමිණි පොලිස් නිලධාරීන් හා විදේශික නිලධාරීන් ඇතුලු ඒ සමඟ ආ පිරිසට නම් ඒ නීතිය වලංගු බවක් පෙනුනේ නැහැ. ඒ වන විට ඇතුලත සිටි මා සඳහා නීතිය පෙන්වා දුන් පුද්ගලයා පවා මගේ මුහුණ දෙස බලමින් ඉවත්ව ගියේ කල යුත්ත කුමක්දැයි වටහාගත නොහැකිවූ නිසාමදැයි සැක සිතෙන්නට සලසවමිනි.

කෙසේ වෙතත් ලෝක උරුමයක් වුන මෙය ගැන දැන් විවිධ මත පලවෙතත් රාවණ හෝ කාශ්‍යප රජුගේ නිර්මාණයක් වුවත් මෙහි සැබෑ උරුමක්කාරයා හෙළයා නොවේද? නමුත් දුරබැහැරින් අපේ උරුමයන් දකින්නට එන අපට මේවායේ ඡායාරෑපයක්වත් සිහිවටන ලෙස ගෙනයාමට නොදී අපගේ රටේ වන හැමදේටම ඇඟිලි ගසා අවුල් කරන පරදේසක්කාරයින්ට විශේෂ අයුරින් සැලකීම අප රටට කරන අසාධාරණයක් නොවේද? හැකියාවත් ඇති අයෙකු වේ නම් මේ පිළිබඳ නිසි බලධාරීන් දැනුවත් කොට අපගේ සිංහල සාමාන්‍ය ජනතාව සඳහාද සමාන ලෙස සැලකීමට කටයුතු සලස්වාදීම සඳහා උපකාරීවන ලෙස ඉල්ලා සිටිමි.

මගේ ගමන් බිමන් දහතුන්වන කොටස - නෑල්ල රජමහා විහාරය

මේ කියන්න හදන්නේ අපේ තවත් ඓතිහාසික ස්ථානයක් වුන නෑල්ල රජමහා විහාරය ගැන. මෙතැනත් මෑතකදී පුරාවිද්‍යා ආයතනය විසින් සොයාගත් ස්ථානයක්. කලින් ලිපියක කියැවුන විදිහටම මේ අපේ රටේ නැගෙනහිර ප්‍රදේශය කියන්නේ මායා රට. ඒ වාගේම මෙහි සිටි සද්ධාතිස්ස නම් ප්‍රාදේශීය රජු තමයි පාලකයා වුනේ සහ දුටුගැමුණු රජු සඳහා විවිධාකාරයෙන් සහයෝගය දුන්නේ. මේ නෑල්ල විහාරය හා ඒ අවට නිර්මාණයන්ගේ ගෞරවය හිමිවෙන්නේ මේ කියන සද්ධාතිස්ස රජුට.

මුලින්ම කියන්නම් මෙතැනට ලඟාවෙන්නේ කොහොමද කියල. ඒ තමා අම්පාරේ ඉඳන් මහඔය දිශාවට කිලෝමීටර 10ක් විතර ගියාම උහන නගරයට ලඟාවෙනවා. එතැනින් හිමිදුරාව දෙසට ඇවිත් කහටගස්යාය නම් ගම්මානය දෙසට යද්දී නෑල්ල නම් ප්‍රදේශය දකින්න පුළුවන්. එතැන පුරාවිද්‍යා ආයතනයෙන් දාපු නාමපුවරුව දකින්න පුළුවන්. එතැනින් හැරිල කිලෝමීටර 2ක් විතර ගියාම නෑල්ල නටඹුන් සහිත ප්‍රදේශයටත් හැරෙන්නේ නැතිව කිලෝමීටර 2ක් විතර ගියාම පබ්බතගිරිය රජමහා විහාරයටත් ලඟාවෙන්න පුළුවන්. නෑල්ල නටඹුන් ප්‍රදේශයට යන්න නම් ලොකු වාහනයකින් අමාරුයි. ඒක් ජීප් එකක් වගේ නම් යන්න පුළුවන්.

අපි මුලින්ම ගියේ නටඹුන් තියෙන පැත්තට. යද්දී ඇද හැළුනු වර්ශාව අපේ ගමන නවත්තන්න උත්සාහ කලා වගෙයි අපට දැනුනේ. ඒ අතරේ අපි පොලිස් මුරපොලට වෙලා එහි සිටි ග්‍රාමාරක්‍ෂක සෙබළුන් දෙදෙනෙක් සමඟ කතාවට වැටුනේ වර්ශාව අවසන් වෙනකන්. අපිව ටිකක් ප්‍රමාද කල වර්ශාව අවසන් වෙන පොද වැස්සේම අපි පිටත් වෙද්දී ග්‍රාමාරක්‍ෂක සෙබලෙක් අප වෙනුවෙන් මඟ පෙන්වන්න ඉදිරිපත් වුනා. ඔවුන්ගෙන් දැනගත් පරිදි මේ තැන නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වෙලා වාගේම විවිධාකාර උසස් තරාතිරම් වල මිනිසුන් තවමත් මේ ප්‍රදේශයට ඇහැගහගෙන ඉන්නවා. ගමේ වැඩිහිටියන් දන්නා පරිදි මීට අවුරුදු 150ක් 200ක් කාලයේදීත් මේ පන්සල හොඳින් තිබී ඇතත් ඊට පසුව තමා මේ දේවල් වල විනාශය ඇරඹිලා තියෙන්නේ. තවමත් ඉතිරිවුන ප්‍රදේශය පුරා විසිරුණු ගල්කණුත් චෛත්‍ය, විහාරය හා දේවාල නටඹුන් වලිනුත් මේ ප්‍රදේශයේ පෞඩ අතීතය පිළිබඳ සක්‍ෂි ලැබෙනවා. තවද ස්වාමීන් වහන්සේලා භාවනා කල ගල් ගුහා දකින්නත් පුළුවන්. එය තුල විවිධාකාරයේ වැලි චිත්‍රත් ගුහා ගර්භය තුලට වැසි ජලය කාන්දු නොවසේ සකස්කල කටාරම නම් නිර්මාණය අපේ හෙළ නිර්මාණ කරුවාගේ දක්‍ෂතාව මැනෙවින් පෙන්නුම් කෙරෙන දෙයක්. තවද මෙහි ඇති ගල් පඩිපෙළ වලද පැත්තකින් කාණුවක් නිර්මාණය කර ඇතිතේද මේ වැසි වතුර ගලායාමේ කාර්යය සිදු කිරීමටය. තවද මෙහි ඇති සෙල්ලිපිය කියවීමට ඉතා අපහසු යැයි විවිධ සෙල්ලිපි විශේෂඥයින් කියා ඇති අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්‍ද ස්වාමීන් වහන්සේ පවසන අන්දමට මේ ලිපායේ කාල නිර්ණයක් කිව නොහැක. එමෙන්ම මෙහි සමහර අකුරු මෑත සිංහල අකුරු වලට සමානතාවයක් දක්වන බවයි කියවෙන්නේ. ඒ වාගේම තමා මේ නෑල්ල කියන්නේ භික්‍ෂුන් දිය නෑ ස්ථානයක් කියලත් කියනවා. මෙහි දිය ඇල්ල තිබූ පැත්ත සීතල ජලය ගලා ආ අතර අනෙක් පසින් සාමාන්‍ය රස්නයෙන් යුත් ජලය ගලා ආ බව කියවෙනවා. පසුව මේ දෙක එක්ව ගලා ගිය බවයි කියවෙන්නේ.

තවද මුත්‍රා කිරීම සඳහා සිදුරක් සෑදු මුත්‍රාපෝච්චි දකින්න පුළුවන් වාගේම ඒ සිදුරු නල පද්ධතියක් මගින් ඈතට ගෙනයනවා. ගුහා ආසන්නයේ ඇති කුටි වෙන්කල බිත්ති මැදින් ගල්කණු යොදමින් සකස් කල අඩි දෙකක් පමණ ගනකමින් යුත්තයි. අද වන විට වනසතුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති මේ නටඹුන් පුරා විද්‍යා අමාත්‍යාංශය විසින් තවමත් වර්ගීකරණය කරල අවසන් නැහැ. තාවකාලික ලෙස මේ ප්‍රදේශයේ කැනීම් කටයුතු නවතා තියෙන්නේ අප දීඝවාපී විහාරය ලෙස ව්‍යවහාර කරන එකල නඛා වෙහෙර ලෙසින් ප්‍රචලිත විහාරයේ කැනීම් කටයුතු ඉක්මන් කිරීම සඳහායි. එතැනින් අපි ගියේ තවත් අප්‍රකට විහාරයක් වුන පුෂ්පාරාම රජමහා විහාරය සොයාගෙන. එතැන සිටි පූජ්‍ය බලංගොඩ මහින්ද ස්ථවිරයානන් වහන්සේ අප කවුදැයි හැඳින්වූ විට මේ පිළිබඳ පුරාතන විස්තර රැසක් සපයමින් අපට උදව් කරන්න ඉදිරිපත් වුනා. මේ විහාරය අවට ප්‍රදේශය විහාර 5කින් යුක්තයි. ඒ පුෂ්පාරාම රජමහා විහාරය, පබ්බත ගිරි රජමහා විහාරය, මඩාන විහාරය, බුලත්වත්ත විහාරය හා නෑල්ල රජමහා විහාරය විදිහටයි. මේ සියල්ල ඉතිහාසයේ දිඝා වැව (දිගින් වැඩි පළලින් අඩු වැව) ලෙසත් අද මහකණ්ඩිය වැව ලෙසත් ප්‍රසිද්ධ වැව හා සම්බන්ධ වුන විහාර ලෙස දක්වන්න පුළුවන්. තවද අද නාමල් ඔය ලෙස හැඳින්වෙන්නේ මේ අවටම ඇති කුඩා කණ්ඩිය ජලාශයයි. මෙහි තමා සත්‍ය දීඝවාපී විහාරය ඇතැයි සලකන්නේ.

ඉතිහාස සාක්‍ෂ අනුව දීඝවාපී චෛත්‍ය තිබිය යුත්තේ දිඝා වැව අසල පබ්බත ගිර හෙවත් කඳුවැටිය පාමුලයි. නමුත් අප දැන් වන්දනා කරන්නා වූ නඛා වෙහෙර අසල එවන් කඳු ප්‍රදේශයක් නම් දක්නට නැහැ. එනිසා වෙනුත් එය නඛා වෙහෙර බවත් මෙහි අවට දීඝවාපී වෙහෙර ඇති බවත් විශ්වාස කරන්න පුළුවන්. මේ සියළු විහාරය ඇත්තේ එදා ජම්බුත්තිමලේ ලෙසිනි හැඳින්වූ කඳුවැටිය පාමුලයි. මේ සියල්ල පිහිටි ආකාරය ඇති සිතියම බලද්දී මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්. තවමත් විශාල වැසි කාලයකදී මේ කුඩා වැව් හා පහත් ප්‍රදේශ යා කරමින් දිඝා වැව සම්පූර්ණ වන බැව් අපට දකින්න පුළුවන්.


ජම්බුත්තිමලේ ලෙසින් හැඳින්වූ කඳුවැටිය තරණය කර විස්තර ලබාගන්න තරම් කාලවේලාවක් ඉතිරිවෙලා තිබුණේ නැති නිසාවෙන් එය තවත් ගවේශණ චාරිකාවක් වේවා යන ප්‍රාර්ථනය හිතැතිව අපි ආපසු හැරුණේ නවාතැන එනන. ඒ පිළිබඳ විස්තරය තවත් ලිපියක් විදිහට ගෙන එන්න බලාපොරොත්තු ඇතිව මේ ලිපියෙන් සමුගන්නම්. මේ පිළිබඳ දන්නා තවත් විස්තරත් ඔයාලට මේ දේවල් ගැන දැනෙන අදහසුත් තියේ නම් හිතේ තියාන ඉන්නේ නැතුව කොටල දාන්න මේ පහල තියෙන ඉඩකඩේ කොමෙන්ටුවක් විදිහට. ජයවේවා!

නෑල්ල ගැන දෙවන කොටස..


ගමන් බිමන් වල දොලොස්වන කොටසට......

මගේ ගමන් බිමන් දොලොස්වන කොටස - ඔවාගිරිය රජමහා විහාරය - අම්පාර

අද මම කතාකරන්න හදන්නේ තවත් අපේ ඓතිහාසික සිද්ධස්ථානයක් වෙන ඔවාගිරිය රජමහා විහාරය ගැන. මේ විහාරස්ථානය නම් මෑත කාලීනව සෑදූ එකක් වුනත් එහි ඇති නටබුන් සහිත කොටස කිස්තු පූර්ව 2 සියවසත් 3වන සියවසත් අතරට යනව කියලයි කියන්නේ. ප්‍රදේශයේ ප්‍රමාණය විදිහට පුරා විද්‍යා අමාත්‍යාංශය පවසන්නේ අක්කර 200ක් කියලයි. ඒ කියන්නේ දුටුගැමුණු රජසමය. මේ කාලයේ ලංකාව කොටස් තුනකට බෙදී තිබුණා කියලයි කියන්නේ. ඒ රුහුණු රට, මායා රට හා පිහිටි රට විදිහට. මෙයින් මේ ප්‍රදේශය අයත් වෙලා තියෙන්නේ මයා රටට. එය පාලනය කරල තියෙන්නේ ප්‍රාදේශික රජෙක් වුන සද්ධාතිස්ස කියන රජතුමාට.

මෙතැනට යන්නේ අම්පාර ඉඟිනියාගල මාර්ගයේ කිලෝමීටර 17ක් පමණ ගියපසු නාමල්ඔය හරහා බිබිල මාර්ගයට හැරවුම් සංධිය හමුබෙනවා. එතැනින් පහලට ගියාම කෙලින්ම යන්නේ මෙම නටඹුන් සහිත ස්ථානයට. පාරෙන් අනිත් පැත්තේ ජලපෝෂක ඇලක් තියෙනවා. එතැනින් අනිත් පැත්තෙන් පෙනෙන්නේ නව රජමහා විහාරස්ථානය.


ඒ කාලයේ මායා රටින් තමා ආහාර අවශ්‍ය පහසුකම් හා වෙනත් දෑ සපයල තියෙන්නේ. ඒ කියන්නේ සොලී ආක්‍රමණ කාලයේදී. එකල මෙහි හිටපු පාලකයා විසින් විහාරයක් කරවල තියෙනවා. ඒ වාගේම තමා ඒකට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සපයා දීල තියෙනවා. මෙතැන දැනට සොයාගෙන තියෙන්නේ ගරා වැටුණු චෛත්‍යයක් පිළිම හා තැන තැන විසිර ඇති ගල්කණු විශාල ප්‍රමාණයක් තමයි. නමුත් තවමත් කැණීම් සිදුකරමින් තමා තියෙන්නේ.

මෙතැන උන් පුරාවිද්‍යා ආයතනයේ කෙනෙකුගෙන් දැනගන්න ලැබුණු හැටියට චෛත්‍ය යේ මළුව හා පේසා වලලු හා චෛත්‍යයට අදාල කොටස් හඳුනා ගැනීම කරල අවසන්. ඒවා මතුකර ගැනීමේ ක්‍රියාවලිය තමා දැන් කෙරෙමින් යන්නේ.

මෙතැන කෙලවර වන්නේ ගඟකින්. මේ ස්ථානයේ ඇති ගොඩක් දේ අඩි දෙක තුනක පස් තට්ටුවකින් යටවී ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ මේ ප්‍රදේශය හසුවූ විවිධ ජලගැලීම් නිසා එකතු වූ පස් තට්ටුව කියායි. මොනවා උනත් මේ අපේ උරුමය හා අපේ පෞඩ අතීතය කියාපාන දේවල්. ඒවා විනාස නොකර ඒ දේවල් ආරක්‍ෂා කරමින් ඒ දේවල් බලන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ.


තවත් ඔයාල දන්න විස්තරත් එක්ක එකතුවෙන්න. මේ පුංචි රට වටේවත් ඇවිදලා බලන්න. අපි හීන මවන්නේ ලෝකෙ වටේ යන්න ඒත් තාම මේ පුංචි රටේ කරක්ගහල නෑ. යනගමන් කොමෙන්ටුවකුත් දාලම යන්න.

ගමන් බිමන් වල එකොලොස්වන කොටසට....

මගේ ගමන් බිමන් එකොලොස්වෙනි කොටස - පුළුකුණාව රජමහා විහාරය

මේ කියන්න යන්නේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලඟදී හොයාගත්තු පුරාවිද්‍යා ස්ථානයක් ගැන තොරතුරු.ඒ තමා පුළුකුණාව රජමහා විහාරය. මේක විහාරස්ථානයක් කිව්වට තාමත් එක් හාමුදුරුනමක් විතරයි ඉන්නේ. ලගදි තමා පුරා විද්‍යා එකෙන් අපිට බලන්න ඉඩහසර දීල තියෙන්නේ. අහ් පටන්ගත්තා නේද මැදින්. ඉන්න පොඩ්ඩක් මම මුල ඉඳන්ම කියන්න.
මුලින්ම කියන්න ඕන අපි කොහොමද මෙතැනට යන්නේ. ඒ මෙහෙමයි. අම්පාර මහඔය මාර්ගයේ පියංගල පහුවෙලා ටිකදුරක් මහඔය පැත්තට එනකොට තියෙනවා පුරාවිද්‍යා එකෙන් දාපු නාමපුවරුව. එතැන ඉඳන් කිලෝමීටර දෙකක් විතර ආවම වමට හැරෙන්න තියෙනවා. ඔන්න එකකොටම පන්සල. පන්සල කිව්වට තාම නම් මේක හදල නෑ. සමාන්‍යයෙන් අපි දකින පන්සලක් විදිහටටම. ඒත් යථාකාලයේ ඒක වෙයි. මමත් ගොඩ බැස්ස ගමන් හෙව්වේ කෝ පන්සල කියල. හරි තැනට ආව කියමුකෝ. අපි නම් කිසිම දෙයක් නොදැන තමා ගියේ. ඒ නිසා ටිකක් විතර පාර වැරදුනා. ආයෙත් යන්නයි හිතාන ඉන්නේ. බලන්න බැරිවුන තැන් බලන්න වැරදි හදාගෙන. එතකොට අළුත් පින්තූර ටිකකුත් දෙන්නම්කෝ.

දැනට මෙන්න නාමපුවරුව

අනුරාධපුර යුගයට අයත්යැයි කියන මේ විහාරයේ දැනට සොයාගෙන තියෙන විශාලතම අසනඝරය සම්බවෙලා තියෙනවා. ඒ වාගේම මේ ප්‍රදේශයම නටබුන් වලින් පිරිල. හැම තැනකම වාගේ ගල්කණු දකින්න පුළුවන්. ඒ වාගේම තමයි මේ ස්ථානය පැරණි ගල්ගුහා වලින් පිරුණු තැනක්. අපි වනාන්තරය මැදින් ගිහින් මතුවුනේ වැවක් ගාවින්. එකේ නම ගූගල් සිතියමේ වත් නැහැ. ගස් ගල් උඩින් පැනගෙන ගිය ගමන් දුෂ්කර වුනත් හිත් නම් ගොඩක් සතුටින් තිබ්බේ අළුත් දෙයක් බලන්න හම්බවුන නිසා. මොනා වුනත් තව විස්තර හොයාන මේකට දාන්නම්. තාමත් පුරාවිද්‍යා එකෙන් මේකේ විශ්ලේෂණ අවසන් කරල නැහැ.


මොනා වුනත් මේ තැන් විනාශ නොකර බලනවා නම් තමා හොඳ.


ගමන් බිමන් වල දසවන කොටසට....