මගේ ගමන් බිමන් සයවන කොටස - දෙමෝදර දුම්රිය ස්ථානය

     දෙමෝදර දුම්රිය ස්ථානය තියෙන්නේ නම් ඇල්ල හා උඩූවර දුම්රිය ස්ථාන දෙක අතර. බදුල්ල - බණ්ඩාරවෙළ මාර්ගයේ බදුල්ලේ ඉඳන් කිලෝමීටර 10ක විතර දුරින් තමා තියෙන්නේ. මේක ලෝකයේම ඉතා සුවිශේෂ වැදගත්කමක් තියෙන දුම්රිය ස්ථානයක්. මේකේ තියෙන වැදගත්කම තමා මේ දුම්රිය මාර්ගය වේදිකාවෙන් නික්මුනාම වක්‍රවුන පටු මාර්ගයක ගිහින් රේල්පාර යටින් තියෙන උමගකින් ආපහු හැරිල ගමන් කිරීම. මේ සඳහා වාස්තු විද්‍යාත්මක දැනුම ලබාදීල තියෙන්නේ ගම්මානයේ හිටි ගොපල්ලෙක්. මේ විදිහට රේල්පාර හදන්න ගොපල්ලා අදහස නොදුන්නා නම් උඩරට දුම්රිය මාර්ගය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් අවසන් වෙන්නත් තිබූ බවයි කියන්නේ.
උඩ ඉඳන් බැලුවාම
දුම්රිය ස්ථානය











     මෙහි ඇති ආරුක්කු 9 පාලම ඉතිහාසයේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ අභිමානවත් දක්‍ෂතාව මනාව පෙන්නුම් කරන නිර්මාණයක්. ඒ වාගේම පාලම නිර්මාණය කරල තියෙන්නෙත් බ්‍රිතාන්‍ය රජයට සේවය කල ශ්‍රී ලාංකිකයෙකු වීමත් විශේෂ කරුණක්. මෙය සංචාරකයන් ඇද බැඳගත් ස්ථානයක් වෙන්නේ මේකෙ තියෙන පාළම,  උමඟ, දුම්රිය ස්ථානය නිසාම විතරක් නෙවේ. දෙමෝදර තියෙන තේ වතු වලින් දෙන ලස්සනත් ඔවුන්ව මෙහෙට ගෙන්නනවා.
ආරුක්කු 9 පාලම

ආරුක්කු 3 පාලම

ආරුක්කු 3 පාලම

ආරුක්කු 3 පාලම

















 
ආරුක්කු 3 පාලම

ආරුක්කු 3 පාලම











     ලොව දුම්රියක් එක ගමන් වාරයකදී එකම ස්ථානයෙන් දෙවරක් යන එකම ස්ථානය විදිහට මෙතැන හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී දුම්රිය උමගෙන් ඇවිත් මීටර් 400ක පමණ පළල් වක්‍ර මාර්ගයක ගමන් කරලයි දුම්රිය වේදිකාවට පැමිණෙන්නේ. මේ පාළම නිර්මාණය කරල තියෙන්නේ ක්‍රිස්තු වර්ශ 1920 දී බවයි සැලකෙන්නේ. මේ තැන නිර්මාණයේදී දෙමෝදර දුම්රිය ස්ථානයට මීටර 50ක පමණ උස වෙනසක් ලැබිල තියෙනවා. එතැනදී දුම්රිය මාර්ගය නිර්මාණය තාවකාලිකව නවත්තද්දී තමා ගොපල්ලා එයා අතේ තිබුණු ලණුවෙන් නිර්මාණය කල යුතු අදහසේ සැලැස්ම පෙන්නල දීල තියෙන්නේ. ඒ වාගේම ආරුක්කු 9 පාලමේ සැලැස්ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ඉදිරිපත් කලත් අනෙක් අය ඒක ප්‍රතික්‍ෂ්ප කරල තිබුනත් තවමත් පාලම නොසැලී පවතිනවා. මේ ප්‍රදේශය ආසන්නයේ දුන්හිඳ හා රාවණා ඇල්ල දියඇලිත් දකින්න පුළුවන්.
උමඟ

උමඟ

මගේ ගමන් බිමන් පස්වන කොටස - කන්නෙලිය රක්‍ෂිතය

       මේ කියන්න යන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ තියෙන රක්‍ෂිත වනාන්තරයක් ගැන විස්තරයක්. ඒක තමා කන්නෙලිය රක්‍ෂිත වනාන්තරය. කලින් සිංහරාජ වනාන්තරය සමඟ සම්බන්ධ වෙලා තිබුනත් පසු කාලෙකදී එතැනින් වෙන්වෙලා තියෙනවා. මේ වනාන්තරය රක්‍ෂිත වනාන්තරයක් විදිහට 1934 වර්ශයේ අංක 8262 ගැසට් පත්‍රයෙන් තමා රක්‍ෂිතයක් විදිහට නම් කරල තියෙන්නේ. වර්ග ප්‍රමාණය හෙක්ටයාර 5305ක් පමණ වන මෙය ද්විතීක වනාන්තරයක්. මේ වනාන්තරය බලන්න එන අයට මෙන්න පාර, මුලින්ම ගාල්ල ලබුදූව කියන ප්‍රදේශයට එන්න ඕන. එතැනින් කිලෝමීටර 14 ක් විතර ගියාම මේ වනාන්තරයේ ආරම්භක ස්ථානයට යන්න පුළුවන්. එතැන වාහන නවත්තල ඇතුලට ඇවිත් ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕන ඒ වාගේම වනරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන මාර්ගෝපදේශකයෙකුත් ලබාගන්න ඕන. මාර්ගෝපදේශකයා සඳහා අයකරන ගාස්තුව අපි තෝරාගන්න මාර්ගය අනුව වෙනස් වෙනවා. තියෙන ගමන් මාර්ග නම් මේ විදිහයි.
ගුහාව මංපෙත - කිලෝමීටර 1.5 දුර ප්‍රමාණයක් ඇති අතර ගතවන කාලය පැය 01යි.
අනගිමල ඇල්ල මංපෙත - කිලෝමීටර 2.3 දුර ප්‍රමාණයක් ඇති අතර ගතවන කාලය පැය 03යි.
යෝධ පුස්වැල මංපෙත - කිලෝමීටර 2.3 දුර ප්‍රමාණයක් ඇති අතර ගතවන කාලය පැය 03යි.
යෝධ නවඳගස මංපෙත - කිලෝමීටර 5.2 දුර ප්‍රමාණයක් ඇති අතර ගතවන කාලය පැය 03යි.
නාරංගස් ඇල්ල මංපෙත - කිලෝමීටර 5.2 දුර ප්‍රමාණයක් ඇති අතර ගතවන කාලය පැය 06යි.
කබ්බලේ කන්ද මංපෙත - කිලෝමීටර 5.5 දුර ප්‍රමාණයක් ඇති අතර ගතවන කාලය පැය 06යි.

      මේ මංපෙත් වලින් උපරිමය පැය තුනක් හා කිලෝමීටර 2.3ක උපරිමය ඇති ගමන් මාර්ගය සඳහා මාර්ගෝපදේශක ගාස්තු විදිහට රුපියල් 250ක් අයකරනවා. වෙනත් සෑම මාර්ගයක් සඳහාම ගාස්තු විදිහට රුපියල් 500ක අවම ගාස්තුවක් අයකරනවා. ඊට අමතරව රුපියල් 30ක ප්‍රවේශ පත්‍රයක්ද ගන්න ඕන.
      
      මේ වනාන්තරය මිනිසා හා ජෛවගෝල රක්‍ෂිතය විදිහට පාරිසරික හා ස්වභාවික සම්පත් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නම් කර ඇති අතර සංවෘත වනාන්තර හෙක්ටයාර 5108.2කුත් විවෘත වනාන්තර හෙක්ටයාර 168.4කුත් වන වගා හෙක්ටාර 29.3කිනුත් සමන්විතයි. කලකට ඉහත දැව සඳහා ෆයිනස් ශාක වගාකරල තිබුනත් ස්වභාවිකව නම් නැහැ. කාලයක් තූනී ලෑලි සඳහා දැව ගත්තත් දැන් නම් ඒ සියල්ල නවත්තලා. ඒ වගේම මේ බිම කොන්ඩලයිට් වර්ගයේ පාෂාණ එක්ක සම්බන්ධ වුන චානෙකයිට් පාෂාණ වලින් යුක්ත බවයි කියැවෙන්නේ. විශාල වශයෙන් ඒක දේශික ශාක තියෙන මේ භූමියේ ඒක දේශික සත්ත්ව වර්ගත් දකින්න පුළුවන්. ඒත් ඉතින් සත්තු බලන්න නම් කෑකෝ ගැසීම් නොකර යන්න වෙනවා. හැබැයි ඉතින් අපේ අය යන කොට නම් කොච්චර ඒ දේවල් කිව්වත් වැඩක් වෙන්නේ නම් නැහැ. අපේ අයගේ කෑ ගැසීම් නිසා යන්න බැරිකමට ඉන්න ශාක විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි. දැන් කියන්නම් අපේ ගමන් විස්තරය මේ වනාන්තරයට. 
      
      වනාන්තරයට එන්න ලබුදූව මාර්ගයේ එන අපි දැක්කේ තෙල් ගන්න වගාකරපු කටුපොල් කියන ශාක වගාවක්. මේ ශාකය තාල කුලයට අයත් ශාකයක්. ටිකක් තල් වගේ පෙනුම තිබුණත් ගෙඩි කිනිත්ත නම් වෙනස්. ගොඩක් පුංචි ගෙඩි ගොඩාක් පොදියක් විදිහට තමා තියෙන්නේ. වනාන්තරයට එන මාර්ගය අවසානයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් ටිකට් අරන් ඇතුලට යන වෙලාවෙදිම අපිට දකින්න හම්බවුනේ කටුස්සෙක්. එකා දිහා බලන් උන්නු අපි ගමන ගියේ ටිකක් හෙමින් මොකද අපි ගිය හතරදෙනාගෙන් එක්කෙනෙක්ගේ ශල්‍යකර්මයක් නිසා තිබුණු ඇවිදීමේ අපහසුතාවය. එතැනින් අපි ගුහාවට රිංග ගන්න කොටනම් ටිකක් බයත් හිතුනා ඇතුලේ තිබුණු කරුවල නිසා. කලෙක වවුලන්ගේ රජදහනක් වෙලා තිබුණු මේ ගුහාවේ දැන්නම් වවුල් ගහනය ගොඩාක් අඩුවෙලා. එතැනින් යෝධ පුස්වැල බලන්න තමා ගියේ. එතැනට යන අතර වාරයේ ගොන්දිව නමින් හැඳින්වෙන ශාකයත්, බාඳුරා ශාක විශාල ගණනකුත් දකින්න හැකිවුනා. බාඳුරා ශාකය තමා අපි හොඳින්ම දන්න පරපෝෂිත ශාකය. තවත් එකකොට ගොනිකෑ වැල් නමින් හඳුන්වන බෙහෙත් ශාකයත් දකින්න හම්බුනා. මේ ශාකය අපිට හොඳින් මතක තිබුණා. මොකද අපිට මේ විස්තර කියාදුන් මාර්ගෝපදේශක ඒ වැල හඳුන්වල දුන්නේ මෙන්න මෙහෙම. මෙන්න තියෙනවා නිම බෙහෙත් පැලයක්. පොලීසියෙන් ගුටිකාපු අයට බොන්න දෙන්න තම්බලා. ඇඟපත රිදුම් නිට්ටාවට සුවයි. මේ යෝධ පුස්වැල ඉතා විශාල අතීතයක් ඇති බවයි කියැවෙන්නේ. පුස්වැල දැනට අවුරුදු 500කට පමණ ඉහත පටන් තිබූ බවයි කියැවෙන්නේ. කඳ පටන් ගැන්මෙන්ම දෙකට බෙදුනු මේ ශාකය දැන් ඉතා විශාල ප්‍රමාණයක් ආක්‍රමණය කරලයි තියෙන්නේ. පරීක්‍ෂාවෙන් බැලුවොත් නම් වැලේ අවසාන ස්ථාන කීපයක්ම දකින්න පුළුවන්.
කටු පොල් ශාකය
කටු පොල් ශාකය
  
කටුස්සා
ගුහාව ඇතුලේ


ගුහාව ඇතුල
බාඳුරා
බාඳුරා

ගොන්දිව ශාකය











      මේ දේ බලන් එන ගමන් දැක්කේ පඳුරක් උඩ සිටි ඇහැටුල්ලෙක්. මේ සර්පයා මඳ විෂ ලෙස සැලකෙනවා. හැබැයි ඉතින් දුටු තැන ඇහැට පනිනවා කියන්නේ නම් මිත්‍යාවක්. ක්‍ෂණිකව ක්‍රියාත්මක වුන මාර්ගෝපදේශකයා ඒ සර්පයා අල්ලා ගත්තේ පඳුරු අතර හැංගෙන්න කලින් අපිට ඒ සතා බලන්න අවස්ථාව දෙන්න. අපි ඇහුවා එයාගෙන් මේකා විෂ නැද්ද කියල. එයා කිව්වේ විෂයි ඒත් අපිට නම් දැන් පුරුදු වෙලා කියල. තවත් වාරයක්  ඒ එන අතර ලඟින් ගියත් විෂ ශාකයක් වන බදුල්ල  ශාකයේ වර්ග තුනක් දකින්නත් හම්බුනා. ඒ මහ බදුල්ල, කහ බදුල්ල හා කබර බදුල්ල යන ශාකයි. එම ගස් ගෑවුන තැන වනවෙනවා ඒ වාගේම කබර බදුල්ල ගහ යටින් ගියත් ඇති කියලයි අපිට කිව්වේ. එතැන් සිටම තවත් ශාක වර්ග කීපයක් නම් කිව්වේ පුරුද්දට වගේ. ඒ කීන වර්ග පහ වන දොඹකීන, ගුරුකීන, වලුකීන, බටු කීන හා නාපත් කීන කියන ශාක වර්ග ටික. මේ අතරේ මීවණ ගහක් උඩ හිටි හාල්දණ්ඩා නමින් හඳුන්වන සර්පයෙක් වේගයෙන් ඇදීගියේ අපේ මාර්ගෝපදේශකයා අල්ලා ගන්නත් කලින්.
කබර බදුල්ල
කහ බදුල්ල


මහ බදුල්ල
ඇහැටුල්ලා
      එතැනින් යන්න පිටත් වුනේ අනගිමල ඇල්ල බලන්න. ඒ එන අතර වාරයේදී වෙනිවැල් ශාකය ගැනත් නොදන්න කතාවක් දැන ගන්න හම්බුනා. ඒ තමා වෙනිවැල් ශාකයට එකිනෙකට වෙනස් පිරිමි හා ගැහැණු විදිහට පැහැදිලිවම වෙනස් ශාක දෙකක් ඇති බවත් ඒ දෙක අතර පරාගනය සිදුවෙන්න ඒ ශාක දෙක ආසන්නයේ තිබිය යුතු බවත්. ඒ අතර එක් වරක් පමණක් ජනිතයන් ඇති කරන නාවු ශාකයත් දකින්න ලැබුණා. කලක් ජීවත් වෙලා විනාශ වෙච්චි දොරණ ශාකයකුත් දකින්න ලැබුණේ තෙල් ගන්න හදපු ලොකු සිදුරකුත් එක්කමයි. මේ දොරණ තෙල්, පන්සල් චිත්‍ර නිර්මාණයේදී ආරක්‍ෂාව හා දිලිසෙන ස්වභාව ලබා ගන්න පාවිච්චි කරන බවයි අහන්න ලැබුණේ. එතැනින් අනගිමල ඇල්ල බලන්න එකකොට නම් අපේ හිත නිවුනේ විඩාව අතුරුදහන් කරමින්.
මැරුණු දොරණ ගස
අනගිමල ඇල්ල


අනලිමල ඇල්ල

අනගිමල ඇල්ල

අනගිමල ඇල්ල

අනගිමල ඇල්ල ඉහල සිට

ඉස්සා

විවේකය සඳහා තැනක්

නාවු ගස












වෙනිවැල් ගැහැණු ශාකය
වෙනිවැල් පිරිමි ශාකය

අනගිමල ඇල්ල වර්ෂාව අඩුකාලයේදී නම් ආරක්‍ෂාකාරී විදිහට ඉහලටම යන්න පුළුවන් තැනක් වුනත් වර්ෂා කාලයේදී නම් ඒ වැඩේ සෑහෙන්න ඒ කියන්නේ මාරක අනතුරුදායකයි. එතැන දිය ඇල්ල බාගයක් විතර නැග්ග අපි ආයෙත් පහලට ඇවිත් කෙසෙල් ගෙඩි එක්ක බිස්කට් කෑවේ බඩගින්න වැඩි කමට. එතැනට දාපු කෙසෙල් කෑල්ලක් අරගෙන දුවන කකුළුවෙක් දිහා අපි බලන් හිටියේ ඒකා මොකද ඊලඟට කරන්නේ කියන කුතුහලය පිරිච්ච මනසකින්. මම එතැනින්ම ඉස්සෙක් අල්ල ගත්තේ නොදැක්ක අයට හොඳින් බලාගන්න. හැබැයි ඉතින් ඒකා මැරුවේ නම් නැහැ. පව්නේ..! ඒ වාගේම මේකෙන් ඇතිවෙන කුඩා ජලපාරවල් කන්නෙලි ඇල, නන්නෙකිත ඇල හා උඩුගම ඇල ඇතිකරල ඒවා මගින් මගින් ගිං ගඟ පෝෂණය කරනවා වාගේම රක්‍ෂිතය හරහා ගලන හුලංදාව ඇල, නිල්වලා ගඟ පෝෂණය කරනවා. ඒ වාගේම ලංකාවේ තියෙන විශාලම මීවණ ශාකයේ පැළයක් දැක්කේ මේ වනාන්තරයට තවත් බොහෝ කාලයක් පවතින්න වරම් තියෙනවා කියන්න වගේ. අපිට මේ ගමන ගොඩක් හොඳ විදිහට යන්න ලැබුණේ මත්පැන් වර්ග හෝ සිඟරට් භාවිතයකින් තොරව හා ගස්වැල් වලට ආදරෙන් මේ වනාන්තරයට ගිය නිසාමයි කියලයි මම හිතන්නේ. ඔයාලත් එන්න බලන්න විඳින්න. ඒත් විනාශ කරන්න එපා. ඉතිරි කරන්න අනාගතයටත් අද වගේම බලන්න දකින්න.
යෝධ පුස් වැල
යෝධ පුස් වැලේ අත්තක්


 මකුළුවෙක්

ලංකාවේ විශාලම මීවණ ශාකයේ පැළයක්

යෝධ පුස් වැල