ක්‍ෂීරපථය ඡායාරූපගත කරන්නේ කොහොමද?

ගොඩක් දෙනාට ගැටලුවක් වෙලා තියෙන ක්‍ෂීරපථය ඡායාරූප ගත කරන හැටි තමයි මම අද කියන්න යන්නේ. හැබැයි මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන ක්‍ෂීරපථය කියන්නේ මොකක්ද කියල. සහ එය දකින්න පුළුවන් අවස්ථා මොනවාද කියල. මොකද හොඳ නිරීක්‍ෂකයෙකු නොවී හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න බැරි නිසා.
මොකක්ද මේ ක්‍ෂීරපථය?

තාරකා, දූවිලි, වායු හා අනෙකුත් ග්‍රහ වස්තූන් සියල්ල ගුරුත්වාකර්ශණයෙන් එකට බැඳිල තියෙනවා. අන්න ඒ බැඳුනු කොටස් සියල්ලේ එකතුවට අපි මන්දාකිණියක් කියල කියනවා. ඉතින් මේ වගේ මන්දාකිණි විශාල ගණනක් විශ්වය පුරා තියෙනවා. එයින් අපේ පෘථිවිය අයිති මන්දාකිණිය අපි ක්‍ෂීරපථය කියන නමෙන් හඳුන්වනවා.  එය පැතැලි සර්පිලාකාර එකක්. අපි ඉන්නේ එහි දකුණු බාහුවේ කෙලවරක. මෙය පළලින් ආලෝක වර්ශ 100000ක් පමණ වෙනවා. සාමාණ්‍යයෙන් ආලෝකය වසරක් තුල සැතපුම් 5865696000000ක් පමණ ප්‍රමාණයක් ගමන් කරනවා ඉතින් එය ආසන්නව සැතපුම් ට්‍රිලියන 5.9ක් ඒ කියන්නේ ක්‍ෂීරපථය සැතපුම් ට්‍රිලියන 590000ක් විතර තරම් වෙනවා. එය අති විශාල සංඛ්‍යාවක්. වර්තමාන දැනුම අනුව අපේ මන්දාකිණිය සතුව තාරකා බිලියන 200-400ත් අතර සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලි ආලෝක දූෂණයෙන් අඩු රාත්‍රීන් වලදී අපට අපේ මන්දාකිණියේ එනම් ක්‍ෂීරපථයේ උතුරු කොටස දකින්න පුළුවන්.


දැන් බලමු කොහේද කවදද ක්‍ෂිරපථය බලන්න පුළුවන් කියල


ක්‍ෂීරපථය කාලයෙන් කාලයට පේන පැත්ත වෙලාව වෙනස් වෙනවා. ඒකට හේතුව අපේ භ්‍රමණය හා පරිභ්‍රමණය කියන කාරණා දෙක. ඒ නිසා අපි දේවල් ටිකක් දැනගන්න ඕන අපිට කවදද ක්‍ෂීරපථය බලන්න පුළුවන් කියල.

පළවෙනි කාරණාව තමයි හොඳ අඳුරු තැනක් ‍තෝරගන්න එක. ලොකයේ අඳුරු එහෙම නැතිනම් ආලෝක දූෂණය නැති තැන් වර්ගීකරණයේ අපේ ලංකාවට නම් තැනක් නෑ. නමුත් තියෙන අඳුරුම තැනක් තෝරාගන්න එක ඔයාලට අයිති වැඩක්. හැබැයි ඒ දවසත් අමාවක දවසක් නම් තමයි හොඳටම හොඳ වෙන්නේ. මොකද සඳ බාධා කරන්නේ නැති නිසා. එහෙමත් නැතිනම් අපේ නිරීක්‍ෂණ වෙලාවේදී සඳ මතුවෙලා නැති දිනයක් තෝරගන්න.

අපි සමකය ආසන්නයේ ඉන්න නිසා අපිට ක්‍ෂීරපථ‍යේ හොඳම කොටස එහෙම නැතිනම් ක්‍ෂීරපථයේ මධ්‍ය කොටස  අහස මුදුනේ දකින්න බැරිවෙනවා. නමුත් වසරේ අපි තොරගන්න කාලය අනුව වැඩි ප්‍රමාණයක් දකින්න සහ ඡායාරූපත කරන්න අවස්ථාව උදාකර ගන්න පුළුවන්.

මාර්තු මාසයේ ඉඳන් දෙසැම්බර් මාසය වෙනකම් ක්‍ෂීරපථයේ විවිධ කොටස් බලන්න පුළුවන් වුනත් මැයි වල ඉඳන් දෙසැම්බර් වෙනකම් කාලය තමයි හොඳම කියල මම නම් කියන්නේ. කොහොම වුනත් රාත්‍රීයේ පේන වෙලාව වෙනස් වෙනවා. සමහර විට ඔබ තො‍්රාගත් දිනයේ පාන්දර 1ට වෙන්න පුළුවන් ක්‍ෂීරපථය හොඳින්ම බලන්න පුළුවන්. ‍මම සාමාන්‍ය දිනයක සාමාන්‍ය වෙලාවක් දෙන්නම්. 2016 ජූලි මාසයේ 8 වැනිදා විතර රාත්‍රී 10ට උත්සාහ කරල බලන්න. ලොකු කාලයක් තියෙන නිසා දැන්ම ඉඳන් සූදානම් වෙන්න.

අවසාන වශයෙන් කාලගුණික තත්ත්වයත් බලපානවා. ආර්ද්‍රතාවය හා වලාකුළු නිසාවෙන් දර්ශනය අපහැදිලි වෙන්න පුළුවන්. එහෙම වුනාම ඡායාරූප වල මීදුම වගේ එන්න පුළුවන්.

කොහොමද ක්‍ෂීරපථය ඡායාරූපගත කරන්නේ?

දැන් තමයි මාතෘකාවට එන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා අපිට තියෙන ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි DSLR කැමරාවක් (දැන් තියෙන තාක්‍ෂයෙන් දියුනු මොබයිල් එකක් වුනත් කරන්න පුළුවන් වෙයි. හැබැයි අපට ISO, Shutter, Aperture වගේ දේවල් වෙනස් කරන්න දෙනවා නම් විතරක්), ත්‍රිපාදයක්, කැමරාව සඳහා දුරස්ථ පාලකයක්

සෑම විටම පලල කෝණ කාචයක් (Wide angle lens) භාවිත කරනවා නම් හොඳයි. මොකද වැඩි පරාසයක් ඡායාරූපයගට ගන්න පුළුවන් වෙන නිසා. වැඩි ප්‍රමාණයක් ඡායාරූපයේ තිබීමෙන් ක්‍ෂීරපථයේ අපූර්ව ඡායාරූපයක් ලැබෙනු ඇත.
ද්වාර වේගය (Shutter Speed)
තරු ඡායාරූපගත කරන හැමෝටම වෙන ගැටලුවක් තමයි කොහොමද ප්‍රශස්ථ ද්වාර වේගය තීරණය කරන්නේ කියන එක. ද්වාර වේගය ගොඩක් අඩු කලාම ආලෝකය වැඩියෙන් හසු කරගන්න පුළුවන් නිසා අපි තත්පර 30ක් වගේ කාලයක් ගන්න හිතනවා. නමුත් එතකොට තරු ගමන් කරන නිසා එය ඡායාරූපයේ ඇදුනු ස්වභාවයකින් සටහන් වෙනවා. මේ සඳහා අපට ගණිතමය ක්‍රමයක් තියෙනවා. ඒ තමයි 600/නාභිය දුර 600/ Focal Length කියන එක. හැබැයි ඉතින් කැමරා වලට එද්දී නාභිය දුර වෙනස් වෙනවා. නාභිය දුර ගනනය කරන්නේ අපේ ලෙන්ස් එකේ නාභිදුර * කප්පාදු (Focal Length * Crop Factor) සාධකය යන ගුණිතයෙන්. ඉතින් අවසානයේ ද්වාර වේගය හොයන සමීකරණය වෙන්නේ,

ද්වාර වේගය (Shutter Speed) = 600 / {නාභිය දුර (Focal length) * කප්පාදු සාධකය (Crop Factor)}

කාච විවර අගය (Aperture Value)

සෙන්සරයට ආලෝකය උපරිම වශයෙන් අවශ්‍ය වන නිසා කාච විවර අගය ලෙන්ස් එකේ ඇති උපරිම අගයේ තබා ගන්න.

නාභිය දුර (Focal Length) 

අඩු නාභිය දුරකදී වැඩි කාලයක් තබා ගත හැකි නිසාත් ඡායාරූපයේ සංයුතිය (Composition) හොඳින් පවත්වාගත හැකි නිසාත් සාමාන්‍යයෙන් අඩු නාභිය දුරක් ඇති කාචයක් භාවිතා කිරීම සුදුසු වේ.

ISO අගය 

අප ද්වාර වේගය හා විවර අගය සීමා සහිත නිසාවෙන් අනාවරණය නිවැරදිව තබා ගැනීම සඳහා වෙනස් කල හැකි වන එකම සාධකය වන්නේ ISO අගයයි. එම නිසා හැකි තරම් ඉහල ISO අගයයක් පවත්වා ගන්න. නමුත් ISO වැඩි වෙද්දී Noise ලැබෙන නිසා කැමරාවේ දැමිය හැකි උපරිම ISO අගය පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීම වැදගත්වේ. නැතිනම් ලැබෙන Noise එක පවා තාරකා යයි ඔබ රැවටෙනු ඇත.

නාභිගත කිරීම (Focus)

අඳුරු පසුබිම හා තාරකා තිබෙන දුර නිසාවෙන් ඔබ ස්වයංක්‍රීය නාභිගත කිරීමේ නිරත වෙනවා නම් කැමරාව ඔබව අතරමං කරනු ඇත. මෙවැනි අවස්ථාවකදී හොඳම විදිහ වන්නේ නාභිගත කිරීම ඔබ විසින් කිරීමයි. එහිදී නාභිගත කිරීම අනන්තයට දමා ගන්න. 

RAW භාවිතා කරන්න

කැමරාවෙන් ගන්නා ඡායාරූපය පසු සැකසුම් වලට භාජනය කිරීමට සිදු වන නිසාවෙන් සෑම විටම RAW ආකාරයෙන් ඡායාරූපගත කරන්න උත්සාහ ගන්න. එයට හේතුව වන්නේ JPEG ආකාරයේදී ඡායාරූපයේ විශාල දත්ත ප්‍රමාණයක් විනාශ වෙන නිසාවෙනි.

අතිරේක කරුණු

සෑම විටම ශක්තිමත් නොසෙල්වෙන ත්‍රිපාදයක් භාවිතා කරන්න. සුලඟින් පවා සැලෙන ත්‍රිපාදයක් නම් එයට බර එල්ලීම මගින් නොසෙල්වී තබා ගන්න උත්සාහ කරන්න.

සෑම විටම සංයුතිය (Composition) සකසා ගැනීමේදී LCD තිරය නොව දසුන් දක්නය (View Finder) භාවිතා කරන්න. අඳුරු අහසේ ඇති තාරකා ඔබේ තිරයේ නොපෙනීමට ඉඩ ඇත.

අවසාන ඡායාරූපය ගැනීමට ප්‍රථම ඡායාරූප කීපයක් ගනිමින් තමාගේ සැකසුම් නිවැරදි දැයි බලන්න. මෙහිදි ලබා ගත් ඡායාරූප විශාල කරමින් එවායේ ඇදී ගිය ස්වභාවයක්, ආලෝක බාධාවන් ආදිය ති‍බේ දැයි බලන්න.


ක්‍ෂීරපථය ඡායාරූපගත කිරීම ගැන ලිපිය ලියන්න කීප වතාවක් අත තිබ්බත් දැන් තමයි නිදහස් වුනේ ඒ දේ කරන්න. අවසානයේ මම කාලෙකට කලින් ගත්තු ඡායාරූප කීපයක් එක්ක ලිපිය අවසන් කරන්නම්. ඒවා සාර්ථක ම නොවෙයි. ඒකට හේතුව වෙන්නේ ආලේක දූෂණය තිබීම. හොඳ ඡායාරූප ගන්න උත්සාහ කරන්න. ස්තූතියි සැමට.. ජය වේවා...!
 ආලෝක දූෂණය නිසා දකුණු පැත්තේ සුදු පාට වලාකුලක් වගේ දකින්න පුළුවන්.




Photoshop CC භාවිතා කරමින් පින්තූරයක් වැඩිදියුණු කරගන්නේ කොහොමද?



අද කතාකරන්නේ කොහොමද පින්තූරයක් Photoshop cc මෘදුකාංගය භාවිත කරල වැඩි දියුණු කරගන්නේ කියල. මේ තියෙන්නේ ඒ විදිහෙන් හදාගත්තු පින්තූර කීපයක්.

දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල. මුලින්ම මෙතැන තියෙනවා මම පින්තූර කීපයක් එකතු කරල හදාගත්තු Panorama එකක්.

මුලින්ම මම කරන්නේ Crtl + Shift + A වලින් හරි Filter Menu එකේ Camera Raw filter කියන තැනින් මේ තියෙන Raw Processing Window එක ලබාගෙන පහත තියෙන වෙනස්කම් ටික කරගන්න එක.

Basic Settings වල

HSL/Grayscale වල Luminance

HSL/ Grayscale වල Saturation
 
HSL/ Grayscale වල Hue

ඊට පස්සේ Layer එකේ Duplicate එකක් අරගෙන ඒකේ Image à Adjustments වල Shadows/ highlights වෙනස් කරගන්නවා මේ විදිහට
 
තවත් Duplicate එකක් අරගෙන එකේ Image à Adjustments වල Levels හෝ Ctrl + L වලින් ගිහින් පින්තූරයේ levels ටිකක් වෙනස් කරගන්නවා.

පස්සේ Levels හදපු ලේයර් එකේ පහල කොටසේ අඳුරු වෙන ටික ලේයර් මාස්ක් එකක් දාල ඉවත් කරගන්නවා.

layers දෙක Select කරල Ctrl + Alt + Shift + E වලින් Select කරපු ලේයර්ස් දෙකම තියෙද්දී ඒ දෙක Merge කරල එන Result එක වෙනත් ලේයර් එකක් විදිහට ගන්නවා. (එහෙම ගන්නේ හදිසියේ වැරදීමක් වුනොත් පසුව වෙනස් කරන්න ආරම්භක Layers තියා ගන්න ඕන නිසා)
මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු Layers ටික තියෙන විදිහ
දැන් එකේ Image Menu එකේ Adjustments වල Brightness/ Contrast වල settings ටිකක් මේ විදිහෙන් වෙනස් කරනවා. 

දැන් ඒ Layer එකේ Duplicate එකක් අරගෙන ඒකට Add an Adjustment වල තියෙන Hue/ Saturation එකක් දෙනවා ඒ දෙන්නේ කොල පාට වර්ණය Select කරලා.

දැන් ඒ layer එකට Layer Mask එකක් දීලා ඉහල අහස කොටසේ වර්න වෙනස අයින් කර ගන්නවා.
Add an Adjustment වල තියෙන Levels වලින් පහල තියෙන වෙනස්කම කරගන්න එක තමයි ඊලඟට කරන්නේ.

අන්තිමට තියෙන layers සියල්ල එකතු කරලා Ctrl + E වලින් Merge කරගන්නවා
 
මේ ටික සියල්ල කරද්දී පින්තූරයට ‍Noise ටිකක් එනවා. Noise ප්‍රමාණය ආරම්භයේදී තිබුන Noise එකට වඩා නම් වැඩියෙන් පේනවා. ඒ නිසා ආයෙමත් Duplicate එකක් අරගෙන ඒකේ තියෙන Noise එක ඉවත් කරගන්න හදන්නේ. ඒකට මම පොඩි Plugin එකක් භාවිතා කරනවා. ඒ තමයි Imagenomic සමාගමෙන් දෙන Noiseware Professional එක.

ඒක විවෘත කලාම එන Window එකෙන් අපට අවශ්‍ය වෙනස් කම් කරගෙන noise එක අඩු කරගන්න පුළුවන්. ඔයාල කැමති නම් වෙන Plugin එකක් භාවිතා කරල මේ දේ කරන්නත් පුළුවන්.

Noise එක ඉවත් කරපු ඡායාරූපයේ සමහර ඇත් වල Noise එක නිසා එන ත්‍රිමාණ බව නැති වෙන එක වලක්වන්න Mask එකක් භාවිතා කරන්න පුළුවන්

අවසානයේ ඒ ‍Layers දෙක Mergeකරගත්තාම පහල වගේ අවසන් පින්තූරයක් අපට ලබා ගන්න පුළුවන්.

මේ තමයි අවසන් කරගත්තු ඡායාරුප දෙක වෙනස තේරුම් ගන්න පුළුවන්නේ. ලිපිය කොහොමද කියල අදහසක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මේ මම කරපු ක්‍රමයක් විතරයි. තව ගොඩක් විධි තියෙනවා. ඉතින් තියෙන තව තව වෙනස්කම් එක්ක ඔයාලගේ පින්තූර මීටත් සාර්ථක විදිහෙන් සංස්කරණය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාල ගත්තු උත්සාහය කොමෙන්ටුවක් විදිහෙන් දාන්න. අපි බලමු ඒ පින්තූරත්. ස්තූතියි හැමෝටම.....