Whatsapp Scam: +92 අංක වලින් WhatsApp ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න

පහුගිය කාලය පුරා ඉන්දියාව ඉල්ල්ක කරගනිමින් සිටි මෙම whatsapp අන්තර්ජාල වංචා සිද්ධීන් දැන් ශ්‍රී ලංකාව ඉල්ලක්ක කරගෙන ද සිදුවීමට පටන් ගෙන ඇත.
පහුගිය කාලය පුරාවට නිවසේ සිට මුදල් ඉපයීමේ වැඩ, OTP වංචාවන් හා Youtube වංචාවන් වැනි විවිධ ක්‍රම ඔස්සේ සයිබර් අපරාධකරුවන් මිනිසුන් රවටා නොසැලකිලිමත් පුද්ගලයින්ගෙන් මුදල් සොරකම් කිරීමට ක්‍රම සකසයි. මෙලෙස අපරාධකරුවන් WhatsApp හරහා වින්දිතයින්ට අමතා මුදල් සහ බැංකු තොරතුරු ලබා දීමට ඔවුන් රවටා ගන්නා තවත් මාර්ගගත වංචාවක් මෑතකදී මතු වී තිබේ .

මෙම වංචාකරුවන් +92 රට කේතයෙන් ආරම්භ වන දුරකථන අංක සමඟ පාරිභෝගිකයින් සම්බන්ධ කරගනිමින් නොමිලේ iPhone සහ අනෙකුත් Apple නිෂ්පාදන සමඟ ඔවුන්ව පොළඹවයි . තවද විවිධ තරඟ වලින් ඔබ දිනූ බව පවසමින් ඔබගේ බැංකු විස්තර ඉල්ලා ගෙන ඒ හරහා දිනූ මුදල් යොමු කරන බව දන්වමින් ඇමතුම් ලබා දෙනු ඇත.

වංචාකාරයා වින්දිතයාට සමාජ මාධ්‍ය යෙදුම හරහා පණිවිඩයක් යවමින්, “සුබ පැතුම්! ඔබ XXX වෙතින් නොමිලේ iPhone 14 එකක් දිනා ඇත. රුපියල් 3000 ක කුඩා ගාස්තුවක් ගෙවන්න. ලබා දී ඇති අංකයට ගෙවීමට UPI (Unified Payments Interface) භාවිතා කරන්න. ලෙස උපදෙස් ලබා දෙනු ඇත.

මෙම වංචාව යනු කුමක්ද සහ අපරාධකරුවන් රටේ කේතය +92 සමඟ අංක අමතන්නේ ඇයි?

+92 රටේ කේතය පකිස්ථානය සඳහා වන අතර, වට්ස්ඇප් හරහා ඉන්දියානු ජාතිකයන් හා ඉන්දියානු සම්බවයක් ඇති පුද්ගලයින් ඉලක්ක කරගත් වංචාකරුවන් පිළිබඳ චෝදනා තිබේ. කෙසේ වෙතත් අමතන්නන් පකිස්ථානයෙන් නොවේ. බලධාරීන් පවසන පරිදි, ඉහත සඳහන් නඩුවට කිසිදු පාකිස්තානු පුද්ගලයෙකුගේ සහභාගීත්වයක් නොමැති අතර, වංචනිකයින් වින්දිතයා සම්බන්ධ කර ගැනීමට සහ වංචාව සිදු කිරීමට අතථ්‍ය (virtual Number) අංකයක් භාවිතා කර ඇත. මේ මට ලැබුණු අංකයක් : +92 30 08470284

මට මේ ඇමතුම ලැබුණේ සිංහලෙන් වීම තමා ප්‍රධානම දේ. මොකද බොහෝමයක් විට මේ වගේ Scam වලට අහුවෙන්නේ අඩු සාක්‍ෂරතාවයක් තියෙන අය නිසා ඒ ඒ රටේ Native Language එකෙන් කතා කරන්න ඕන. දෙවැනි දේ තමා මට ආව පණිවිඩයේ තිබුනා එකම දේ රිපීට් වෙනවා වගේ දෙයක්. එකම වචන ටික ආයේ ආයේ කියනවා වගේ. තව දෙයක් තමා තාක්‍ෂණිකව මම කියන දේවල් සඳහා ලැබෙන පිළිතුර සඳහා ගතවෙන කාලය. මේ දේවල් එක්ක මට හිතුන දේ තමා මේක කෘතීම හඬ ලබා දීමක් කියන එක. ඒ වචන වල මනුස්ස ගතියක් නෑ.

මම කොහොමද මේ දේ හරියටම කියන්නේ. ඒක කියන්න කාලයක් මම කරපු දේවල් මට උසව් වෙනවා. හැම මනුස්සයෙක්ම අහන සරල දේ වලට පවා උත්තර දෙන්න කාලයක් ගන්නවා. මේක තත්ත්පරයකට අඩු වෙන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ උත්තර දෙන වෙලාවන් වලදී හඬ වෙනස් වීම කියන එකත් සුවිශේෂ වෙනවා. +92 අංකයකින් සිංහලෙන් කතා කරනවා කියන එකම සැක සහිත වෙද්දී මුලින් හඬ නැවත නැවත ඇහෙද්දිත් මට හිතුනේ voice modulator එකක් භිවාත කරල වෙන්න ඕන කියලයි. හැබැයි එහෙන් කියල සහ මම අහන දේ වලට ලැබුණ පිළිතුරු වල විදිහෙන් මම හිතන්නේ AI එකක් හරහා Scam එක Run කරනවා කියලයි.

කොහොම වුනත් නොමිලේ තෑගි හෝ වාසිදායක ගනුදෙනු පොරොන්දු වන ඇමතුම් සහ කෙටි පණිවුඩ ආකර්ෂණීය විය හැකියි. නමුත් ඒවා බොහෝ විට ව්‍යාජ යි. අවධානයෙන් සහ සැකයෙන් සිටීම ඔබට මෙම ව්‍යාජ ක්‍රීඩා වලට ගොදුරු වීමෙන් වළක්වා ගත හැකිය.

අතථ්‍ය අංක භාවිතයෙන් දුරකථන වංචා වළක්වා ගැනීමට, මෙම පියවර අනුගමනය කරන්න. විශේෂයෙන් ඔබ ඇමතුම ආරම්භ නොකළේ නම්, දුරකථනය හරහා පුද්ගලික තොරතුරු ලබා දීමෙන් ප්‍රවේශම් වන්න. ඒ වගේම සැක සහිත කිසිම තැනකට ඇත්ත විස්තරයක් දෙන්න එපා. අනිත් පැත්තෙන් කතා කරන කෙනා ඔයාලට verify කරගන්න බැරි නම් හරි තොරතුරු දෙන එක කරන්නම එපා.


පාස්පෝට් සහ පූස්පාට්

මේ ලියන්න යන්නේ කාලෙකින් අපේ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා සිදුවෙන අසාධාරණයක් ගැන විස්තරයක්. මේ වගේ දේවල් ගැන ලියන එක කාලයක් නවත්තලා තිබුනත් මේ වගේ දෙයක් නොලියාම බැරි නිසා ලියන්නේ තවත් කෙනෙක් වැඩක් ගනී කියලා හිතලයි.

ලෝකය තොරතුරු තාක‍ෂණික ක්‍රම භාවිතය සම්බන්ධයෙන් වේගයෙන් ඉදිරියට ගිහින් තියෙනවා වුනත් අපේ රට යන්නේ සෑහෙන්න පස්සට. එහෙමත් නැත්තම් හරිම හෙමින්. ඉතින් මේ හෙමින් යන ගමනේ ප්‍රයත්නයක් විදිහට වසර ගාණක් තිස්සේ උත්සාහ කරල (මගේ මතකකය හරි නම් වසර 10කට අධික කාලයක්) යන්තම් ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන්ගේ සේවාවන් මාර්ගගත ක්‍රමයට දෙන බව ප්‍රකාශ කරල තියෙනවා. නමුත් ඒක ඇත්තටම කියන තරම් කඩිනම් ද කියන එක නම් ගැටලුවක්.

ඔවුන්ගේ වෙබ් අඩෙවියේ සඳහන් ආකාරයට අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව අංකිත ඡායාරූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු අනුමත ඡායාරූප ශාලාවකින් හෝ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායාරූප ශාලාවලින් ලබා ගත හැකි බව තියෙනවා. ඒ සඳහා ගාස්තු අය කරන්නේ මාර්ග ගත විදිහටමයි. නමුත් ශාඛා කාර්යාල වල ඉන්න නිලධාරීන්ට ඒ සඳහා හරියාකාරයෙන් පුහුණුවක් ලබා දීල නැහැ. ඒ විතරක් නෙවෙයි එහෙමතැන් වල ඡායාරූප ගන්න බැරිනම් ඒ තැන් වල නිලධාරීන්ට තමන්ගේ ශාඛා කාර්යාල තාවකාලිකවත් පද්ධතියෙන් ඉවත් කර ගන්න විදියක් තියල නැහැ. සමහර විටක ඒ ඒ නිලධාරීන් තමන්ගේ හිතවත් ඡායාරූප ශාලා සඳහා වාසියක් වෙන විදිහට උවමනාවෙන්ම මේ කාර්යය කරනවා වෙන්න පුලුවන්. නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ඒ විතරක් නෙවෙයි එතැනින් අදාල කාර්යය සිදු නොවන්නේ නම්එමුදල් ප්‍රතිපූරණය කිරීමේ ක්‍රමවේදයක් ද ඔවුන් සතුව නැහැ.

මීට අමතරව ඔවුන්ගේ පද්ධතිය තුල ප්‍රගතිය බලා ගැනීමේ තීරය පවා යාවත්කාලීන වීමක් සිදු වෙන්නෙැ නැහැ. විශේෂිත විමසීමකින් හෝ හිතවත්කම් ඔස්සේ සිදුවන විමසීම් වලින් පසුව ඒම යාවත්කාලීන වීම් සිදු වෙනවා. නමුත් මේ විමසීම් ඔවුන්ගේ ක්ෂණික ඇමතුම් හෝ වෙබ් අඩෙවියේ සඳහන් අංක වලින් විමසීම් කිරීම සිදු කල නොහැකියි. එයට හේතුව එම දුරකථන සෑම විටම කාර්යය බහුල හෝ පිළිතුරු නොදීමයි.

මේ සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික අත්දැකීම නම් අතිශය කණගාටුදායකය. ප්‍රාදේශීය කාර්යාලය ලෙස කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඡායාරූප ලබා ගැනීමට රු. 350.00 ක මුදලක් අමතර ගෙවීමක් ලෙස සිදු කල ද එතැනදී ඒම නිලධාරියා අදාල ඡායාරූප ගැනීමට අවශ්‍ය උපකරණ සකස් කිරීමටත් ප්‍රථම ඡායාරූප ලබා ගැනීම මෙම ස්ථානයෙන් කල ද සාර්ථක නොවන බවත් අයදුම්පත ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාවක් පවතින බවත් ප්‍රකාශ කරනට විය. එවිට මා ඒ බව ළිඛිතව ලබා දෙන ලෙස කී පසු අකමැත්තෙන් වුවද රැගෙන ආ බල්බයක් හා වෙබ් කැමරාවක් සකස් කරන්නට විය. ලබාගත් ඡායාරූපය පද්ධතිය වෙත උඩුගත කරද්දී පවා ඔහු ඡායාරූප ලබා ගැනීම සඳහා ඒ අවට පෞද්ගලික ඡායාරූප ශාලාවක් නිර්දේශ කරන්නට විය. මා ඒ වන විටත් ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකු හා රාජ්‍ය සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකු බව ඔහු නොදැන සිටියා විය යුතුය. නමුත් ඔහුගේ ඡායාරූප ලබා ගැනීම අසාර්ථක බැව් මා දැන සිටියේ ඔහු ආලෝකය හැරිරවූ ආකාරයේ දීමය. නමුත් රාජ්‍ය නිලධාරියෙකුට රාජකාරියට බාධා කිරීම වරදක් බැවින් කිසිත් නොකියා සිටියෙමි.

දින සති ගෙවී ගියේ ය. විදේශ ගමන් බලපත්‍රය නැත. කිහිප වරක් ඔවුන්ගේ වෙබ් අඩෙවියේ සඳහන් දුරකථන අංක ඇමතීමට උත්සාහ ගතිමි. කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. පිළිගැනීමේ නිලධාරියා ඇමතීමේ දී අදාල අංශය වෙත දුරකථනය සම්බන්ධ කලද එම ස්ථානයේ දුරකථනයට පිළිතුරු දීමට කෙනෙකු නොමැත. කිහිප වරක් උත්සාහ කර මාගේ දුරකථන බිල්පත වැඩි කර ගැනීමෙන් පසු එම උත්සාහයටද අත්හැර දෑමුවෙමි. වෙනත් කාර්යයක් සඳහා මා මිතුරෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියෙමි. එවිට දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නේ මන් දැයි කියා සිදු කල විමසීමට පිළිතුර “අංශ වල සිදුවන අලුත්වැඩියාවන් හේතුවෙන් දුරකථන සබඳතා නොමැත” යන්නයි. අහෝ ඛේදයකි එකම ආයතනයේ පිළිගැනීමේ නිලධාරියා අංශ අතර අලුත්වැඩියාවන් පිළිබඳ දැනුවත් නැත.

තවත් මස කීපයක් ගතවූ පසු මා පෞද්ගලික හිතවත් නිලධාරියෙකුගෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කලෙමි. එවිට එම නිලධාරියා පද්ධතිය පරීක්ෂා කර මාගේ ඡායාරූපය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් සතියේ දිනයක කාර්යාලයට පැමිණියහොත් අදාළ කාර්යයන් සිදු කර විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවත් පවසන ලදී. හිතවත්කම් භාවිතයෙන් අදාළ කාර්යය සිදු කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මා නැවත රු. 600.00ක් වියදම් කර ඡායාරූපයක් ලබාගෙන පද්ධතිය වෙත උඩුගත කලෙමි. නැවත මාසයකට අධික කාලයක් ගත වුවද කිසිඳු ප්‍රතිචාරයක් නොමැත. නැවත මා මිතුරා ඇමතුවේ ප්‍රගතිය බලා ගැනීම සඳහා පමණක්මය. ප්‍රථිපලය පෙර ලෙසමය.

කෙසේ වුවද සියලු අකටයුතුකම් සම්බන්ධයෙන් සඳහන් කර පාලක වෙත හා අදාළ අංශ ප්‍රධානීන් සම්බන්ධ කරරමින් පැමිණිලි සහගත ඉල්ලීමක් සිදු කලෙමි. දීර්ඝ විද්‍යුත් ලිපියක් ලෙස යොමු කරන ලද ඒහි මා වෙත සිදු වූ අසාධාරණය හා මාගේ කාලය, මුදල් සම්බන්ධයෙන් විමසීම් කලෙමි. ගත වූයේ දින තුනකි. විදේශ ගමන් බලපත්‍රය මා අතට පත්විය. එතැන් සිට අද දක්වා තවත් මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් මාගේ විද්‍යුත් ලිපියේ සඳහන් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් හෝ විමර්ශනයක් පිළිබඳ නොමැත. මෙය රාජ්‍ය අංශයේ ආයතනයක් සඳහා විද්‍යුත් තැපැල් ලිපියක් ලැබී දින තුනක් ඇතුලත පිළිතුරු ලිපියක් ලිවිය යුතුය යන චක්‍රලේඛය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පුරවැසියෙකුගේ හිමිකම සම්බන්ධයෙන් වූ තව තවත් චක්‍රලේඛ හා නීති අණ පණත් ගණනාවක් උල්ලංඝනය වී ඇති අතර වැදගත්ම කරුණ මේ සම්බන්ධයෙන් මාගේ ලිපිය මා අදාල ආයතනයේ නීති නිලධාරීන් වෙත ද යොමු කර ඇති වීමයි.

මේ ලෙසින්ම මාගේ ජාතික හැඳුනුම්පත සඳහා ද මා හට විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කිරීමට සිදු වූ අතර එයින් දින කීපයකට පසු මාගේ හැඳුනුම්පත තැපැල් කර තිබුණි. පුරවැසියෙකු වශයෙන් මෙවන් සිදුවීම් මා ලියා නොතැබීම වරදක් සේ හැඟෙන බැවින් මෙලෙස අකුරු කරමි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදු කරදීම සඳහා “කාක්කන්” සිටින බව බොහෝ වාරයක් විමර්ශන මාධ්‍යවේදීන් විසින් හෙලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් සිදු කර නොමැත හෝ විමර්ශන නිලධාරීන් ද මේ සා විශාල කූඨ ව්‍යාපාරයේ පාර්ශවකරුවන් විය යුතුය. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගත කල යුතු කාලය සම්බන්ධයෙන් එම අදාල ආයතනයන් හි වෙබ් අඩෙවි තුල ගතවන කාලය ලෙස සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව හැ‌ඟේ. එසේ නොමැති නම් පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා අදාළ කාලයන් ගත කරමින් පුරවැසි අයිතීන් උල්ලංඝනය කර ඇත.

කෙසේ වුවද සාමාන්‍ය ජනතාවගෙන්, මාගේ පාඨකයන්ගෙන් සිදු කරන් ඉල්ලීම නම් මේ වෙන කොටත් ඔයාලගේඨවිදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුපත්‍ ඔයාලට හම්බෙලා නැත්තම් විද්‍යුත් තැපෑල හරහා විධිමත් පරිදි ලිපියකින් ඉල්ලීම සිදු කරන්න. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න තොරතුරු පණත හරහා පුලුවන්. ඉතින් නීති රීති තියෙනවා. හැබැයි ඔයාල දැනුවත් වෙන්න.

මගේ ගැටලුව අවසන් වෙන්නේ සාවද්‍ය තොරතුරු දාපු වෙබ් එකක් නිසා මට අහිමි වුන කාලය සහ සුදුසකම් නොමැති නිලධාරීන් නිසා මට අහිමි වුන මුදල් ප්‍රතිපූරණය කිරීමට පස්සේ. එතෙක් මේක විවෘත නඩුවක්. උසාවියක නොවුනට. මම තාම බලන් ඉන්නවා මේ සම්බන්ධයෙන් අදාල ආයතන ගන්න පියවර සම්බන්ධයෙන්.

පුංචි එකාට හදපු සරුංගලේ ...

බාප්පා සරුංගලයක් හදලා...

පුංචි එකා කෑ ගැහුවේ එහෙම. පුංචි එකෙක් ගේ ලමා කාලයක් ලස්සන වෙන්න සරුංගලයක් යවන්නම ඕන. සරුංගලයක් හදන තැන ඉඳලා උඩ යවල ඒක ආයේ උඩ යවන්න නැතිවෙන තැන වෙනකම්ම ඉගෙන ගන්න පාඩම් එමටයි. ඉතින් අපේ චුට්ටං එකාටත් මම සරුංගලයක් හදල දුන්න. ඌට දැන් හතරක්. සරුංගලයක් යවන්න කෙසේ වෙතත් සරුංගලයක් උඩ යවල එකේ නූල අල්ලගෙන ඉන්න හොඳම වයස.

ඒ කාලේ සරුංගල කිව්වාම අද වගේ නෙවෙයි. අද නම් කොහේවත් පිට්ටනියක සරුංගලයක් නැතිම ගානයි. ඒත් ඉස්සර අවුරුදු පහුවෙද්දීම සරුංගල් කාලේ පටන් ගත්තා කියනහැඟීම අපි තුලට ආවේ නිතැතින්ම. ඒ කාලේ සරුංගල් දහ පහලොවක් පිට්ටනියක, වෙල්යායක තියෙනවාමයි.
මම පුංචිම කාලේ මට සරුංගලයක අවශ්‍යතාවය ආවේ ගෙදර ඉඳන් බැලුවාම අහස පුරාම තියෙන සරුංගල් දැක්කාම. ඒ කාලේ මට සරුංගලයක් හදන්න තියා හිතන්නවත් බෑ. ඉතින් කොහොමින් කොහාම හරි පිට්ටනියේ කරක් ගහන්න ගත්තාම අනුන්ගේ සරුංගල් වල නූල් අල්ලගෙන ඉන්න හම්බුනා. හැබැයි ඉතින් විනාඩියක් දෙකක් ඇතුලේ අයිතිකාරය ඒක ගන්නව. මොකද සරුංගල් යැවිල්ලේ රසම හරිය තියෙන්නේ එතැන නිසා. කොහොම හරි මටත් සරුංගලයක අවශ්‍යතාව හොඳින්ම දැනෙද්දි සරුංගල් හදන්න දන්න කෙනෙක් හෙව්ව. අපේ තාත්තට සරුංගලයක් හදන්න පුලුවන් වුනත් ජීවන යුද්ධෙත් එක්ක එයාට කියල සරුංගලයක් හදා ගන්න එක කරන්න බැරි වැඩක්.

කොහොම හරි පහල ගෙදරක අයිය කෙනෙක් සරුංගලයක් හදා දෙන්නම් කොළ අරගෙන එන්න කිව්ව. වෙසක් එකට ගෙනාව සව් කොළ ටිකකුත් අරගෙන සරුංගලයක් හදාගෙන පිට්ටනියට ගියේ රටක් රාජ්ජ්‍යයක් දිනුවා වගේ. තමන්ගේම සරුංගලයක් කියන්නේ පිට්ටනියේ තැනක් තියෙනවා. අපි පුංචි කාලේ ස්ටේටස් හැදෙන්නේ එහෙම.
 
සරුංගලයක් උඩ යවන්න ලේසි නෑ. හුලඟ එන පැත්ත, වේගය, ඒ එන හුලඟ පවතින්න පුලුවන් කාලය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැතිවුනොත් නූල ඇදගෙන ගියත් සරුංගලය අහසේ පවතින්නේ නෑ. ආයෙත් බිමට එනව. ඒ විතරක් නෙවෙයි උඩ හුලඟට අහුවෙනකන් නූල ඇද ඇද සරුංගලය ගුවනේ තියා ගන්නත් ඕන. තව ටිකෙන් ටික නූල දීල සරුංගලය ඉහලට යවන්නත් ඕන. උඩ හුලඟට අහුවුනාට පස්සේ සරුංගලය අහසේ තියා ගන්න පුලුවන්. හැබැයි සරුංගලයේ විදිහ අනුව ඒක ආයේ ආයේ පහතට එද්දි ආයෙත් ඉහලට ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි සරුංගල් ගොඩක් ලඟ ලඟ තියෙද්දි අනිත් සරුංගල් වල පැටලැවෙන්නේ නැති වෙන්න තියා ගන්නත් ඕන.
 
ආහ් කතාව ගියා දුරට. ඉතින් ඔය පහල ගෙදර අයියට කියලත් සරුංගලයක් හදා ගන්න එක ටික ටික අමාරු වෙන්න පටන් ගත්ත. සරුංගලයක් හදන්න බාර දුන්නට ඒක ලැබෙන්න කල් ගියා. සමහර විට අපි කරදරයක් වුන නිසා මඟ හැරිය වෙන්නත් ඇති. කොහොම හරි මේ වැඩේ මෙහෙම කරන්න බෑ කියල හිතපු මං මම ම සරුංගලයක් හදා ගන්නව කියල තීරණය කලා. ඉතින් ඉරටු ටිකකුත් කපාගෙන වැඩේට බැස්ස. මුලින්ම හදපු සරුංගලේ කොළ ඇලෙව්වනම් කුල්ල වෙනුවට ගන්න තිබුන. තාත්ත ගෙදර ඇවිත් හිනාවුනෙත් එහෙම කියල. හැබැයි ඉතින් වරද හදන්නවත් වරද තියෙන්නේ කොතනද කියලවත් කිව්වේ නෑ. පට්ටම දුකක් දැනුනත් මුල් ඒක පාඩමක් කරගෙන ආයෙ ආයේ හැදුව. තුන හතරක් හැදුවත් කැල්ල වගේ ගතිය ගොඩක්ම අයින් කරන්න වුනේ නෑ. අන්තිමේ වෙන දෙයක් වෙච්චාවේ කියල ඒකක් අලවල බලන්න හිතුව. 

දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ කෝ සරුංගල් අලව අලව බලන්න සව් කොළ. මේක අලවල හරි ගියේ නැත්තම් ආයේ ආයේ කොළ ගන්න සල්ලි එක ඕන. තියෙන කොළවලින් අලවන්න පුලුවන් එක සරුංගලයයි. ඒ කාලේ සව් කොළයක් ගන්න වියදම් කරනවා කියන්නේ අපිට සෑහෙන අමාරු වැඩක්. ආර්ථිකය එහෙම තිබුන නිසා කරන්න තිබුනේ වෙන මොනවායින් හරි එකක් අලවලා බලන එක. ඉතින් විසඳුම වුනේ පත්තර කොළ. පත්තරේකුත් අරගෙන වැඩේට බැස්ස. අලවල ඉවර‌ වෙලා ගේ ඉස්සරහ පාරේ ඇදගෙන දිව්ව. සරුංගලේ පස්සෙන් ආව. හැබැයි බිම දිගේ.. 
 
එතනිනුත් නොනැවතී උත්සාහයෙන් සරුංගල් කීපයක් හැදුවට පස්සේ සරුංගලයක් හදන එක ඒ තරම් වැඩක් වුනේ නෑ. කොහොමින් හරි සාමාන්‍ය‌ පෙළ ලියන කාලේ වෙනකොට ගමේම අයට ඕඩර් වලට සරුංගල් හදන්නේ නූල් සහ කොළ අරන් ඒන්න කියල. මොකද ඒවාට වියදම් කරන්න තරම් ආර්ථිකයක් ඒ වෙද්දිත් නැති නිසා. සරුංගල් කතාලෙට මම හදපු සරුංගල් දෙක තුනක් පිට්ටනියේ තියෙන ගානට සරුංගල් හැදුවා. වවුලෙක්, කාක්කෙක්, ඔටුන්නක්, මොණරෙක්, මකුළුවෙක්, මාලුවෙන්, මීසමැස්සෙක් වගේම පෙට්ටි සරුංගල් හදන්නත් ඉගෙන ගත්ත. තාමත් පිට්ටනියක සරුංගලයක් යනවන්න ඕන කියන හැඟීම තිබුනා වුනත් විවිධ දේ නිසා අපි හරි බිසී.

ඉතින් පොඩි එකාට හදපු සරුංගලේ උඩ යවන්න වෙයිද නම් දන්නේ නෑ. වැස්ස අවසන් වෙද්දි පොඩි එකා ඒක නොකඩා තිබිල මට නිවාඩුවකුත් අහු වෙන්න ඕන සරුංගලය යවන්න නම්. ඒකත් අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වෙයිද දන්නේ නෑ. බලමු ඉතින්.

කොහොමින් කොහෝම හරි පොඩි එකාට හදපු සරුංගලේ මාවත් ආය් පොඩි කාලෙට අරං ගියා.

චංචා අනතරු හැඟවීමයි.....

මේ දවස්වල සිද්ධවෙන දේවල් එක්ක වැඩිය ලියන්න ලැබුනේ නැති වුනත් අලුත් අවුරුදු සමයත් එක්ක මිනිස්සු කාර්යබහුල වෙලා. ඒ එක්කම මිනිස්සු කරන කාර්යයන් අස්සේ සිද්ධවෙන ක්‍රියාකාරකම් අස්සේ, අවශ්‍යතාවයන් පිරවීම අස්සේ වංචා සිදුවෙන එකත් වැඩිවෙලා. මේ ලියන්න යන්නේ එහෙම සිදුවීමක් ගැන.

අවුරුදු සමයත් ඒක්ක ගොඩක්ක සිල්ලර වෙළඳසැල් වල පෝලිම් දින්න පුලුවන්. මේ පෝලිම් වල ඉන්න මිනිස්සු කඩිනමින් බබඩු අරගන ආයෙත් තව පෝලිමකට යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් එහෙම වෙලාවල් වලදී බඩු කිරන තරාදි වලින් හා කිරන බඩු වලින් විවිධ සෙල්ලම් දානවා. සමහර තරාදි "0" කරන්නේ නැතිව බඩු කිරාගෙන කිරාගෙන යනවා. මේ ලඟදී දවසක් මාලු මාර්කට් එකක සිද්ධ වුන දෙයක් තමා මාලු කූරියෙක්ටම ගානක් කියල බෑග් එකට දාද්දී ඊට වඩා පොඩි මාලුවෙක් බෑග් එක ඇතුලට දාන්න කරපු උත්සාහය. විමසිනල්ලෙන් හිටි නිසා ඒ වැඩේ බේරගත්තා. මාර්කට් එකකදී බිලක් ලැබෙන්නේ නැති නිසා වරදක් වුන බව පෙන්වන්නවත් වෙන්නේ නෑ.

දැන් අලුතින් ඇවිත් තියෙන ඉලෙක්ට්‍රොනික් තරාදි සහ විද්‍යුත් බිල්පත් නිකුත් කිරීමේ සිස්ටම් අස්සේ වංචා සිදු වෙන්නේ නැහැ කියල මිනිස්සු හිතනවා. නමුත් ඒවායින් සිදු කල හැකි චංචා ද බොහෝමයි. භාණ්ඩ මිල අදාල යන්ත්‍ර වලට ඇතුලත් කරන්නේ අදාල ආයතන හිමිකරුවන් විසින්. ඉතින් මේ ඇතුලත් කරද්දි සමහර භාණ්ඩ වල මිල ටිකක් වැඩියෙන් ඇතුලත් කරල තියෙනවා. ඒ එකම භාණ්ඩයේ මිල කේත දෙකකින්. එකක් සාමාන්‍ය භාණ්ඩ සඳහන් බිල. අනෙක වැඩිපුර සඳහන් බිල. උදාහරණයක් විදිහට හාල්, පොල්, ලූණු වගේ අත්‍යාවශ්‍ය දේවල් වල මිල අඩු මිලක් කියල බඩු වල සඳහන් කරනවා. පස්සේ බිල් කරද්දී වැඩි ගානකින් බිල් වෙනවා. ඒ වගේ දේවල් මේ දවස් වල විශාල ප්‍රමාණ වලින් ගෙනියන නිසා කවුරුත් බිල් කල ගාන බලන්නේ නෑ වගේම සම්බූර්ණ බිල ගත්තාම භාණ්ඩ වැඩි ගානක් තියෙන වෙලාවල් වලදී තමයි මේක කරන්නේ.

මේ වගේ විවිධ වර්ගයේ වංචාවන් මේ දවස් වල සිද්ධ වෙන නිසා පුංචි සිදුවීම් දෙකක් විතරක් පෙන්වලා දුන්නේ. මේවා මගේ පවුලේ අයට සිදුවුන ඒවායින් කීපයක්. අපේ අය කවදත් බිල සහ භාණ්ඩ පිළිබඳ මුදල් ගෙවීමෙන් පසු පරීක‍ෂාවක් සිදු කරන නිසා මේක අල්ල ගන්න පුලුවන් වුනා. නැතින්ම අහුවෙන්නේ නෑ. සමහර බිල් වල වංචාව රුපියල් දහසකට වඩා වැඩි වුනා.

ඒ නිසා මේ දවස් වල හදිසියෙන් බඩු ගන්න යන ඔයාල තමන්ගේ බිල් සහ තමන්ට ලැබුණු භාණ්ඩ සම්බන්ධයෙන් පරීක‍ෂාකාරී වෙන්න. තව දෙයක් තමයි හැම වෙලාවේ දී බිල ටයිප් කරද්දී සහ තමන්ගේ භාණ්ඩ වල බර කිරද්දී ඉලෙක්ට්‍රොනික හෝ යාන්ත්‍රික හෝ වේවා එම අගයයන් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. මොකද නීතිරීති සහ ඒ් සම්බන්ධයෙන් ඉන්න රාං්‍ය අංශයවත් මේවා සම්බන්ධයෙන් වූූ යල්පැන ගිය නීති තවමත් යාවත්කාලීන කරල නැහැ. සමහර නීති 1940 ගණන් වල නීති සහ දඩ මුදල් තියෙන්නේ. රුපියල බාල්දු වීමට සාපේක‍ෂව බදු මුදල් වල වෙනසක් නැති නිසා සමහර තැන් වල දඩ මුදල රු. 5.00 ක් රු. 10.00ක් වගේ අගයයනුත් තියෙනවා. ඉතින් සමහර වැරදි කරල දඩය ගෙවන එක ලාභයි. 

මගේ බ්ලොග් එක කියවන ඔයාල මේ වගේ දේවල් අත් විඳල තියෙනවා නම් මේකෙ කමෙන්ට් එකක් හැටියට ලියන්න. මේ වගේ දේවල් අත්විඳල අයියෝ එහෙම ඒවා ගැන කියන්න ගිහින් වෙන ප්‍රශ්ණයක් වෙයි කියල හිතන්නේ නැතිව ලියන්න. මොකද එහෙම දේවල් හෙලි කිරීම කියන්නේ පුරවැසි වගකීමේ කොටසක්. ඒකට හේතු කියල වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. නීතියෙන් හෙලිකන්නේ නැහැ කතා කරන්නේ නැහැ කියල මම පොරොන්දු පත්‍ර අත්සන් කල දෙයක් හැරෙන්න අනිත් සියල්ල ලියන ඒක නවත්තල නැහැ.

බලාගෙනයි! පරෙස්සම්වන්න

කාලයක් තිස්සේ කෝච්චියේ සතියේ දවස් පහම වැඩට යන්න ගත්තට පස්සේ මගේ අත්දැකීම් විදිහට ලියන්න නම් දේ සෑහෙන්න හම්බවුනා. නමුත් තවමත් සමහර දේ ලියනවද? ලියල වැඩක් වෙයිද වගේ ප්‍රශ්ණාර්ථ තියෙන නිසා ලියන්නේ නැතිව හැංගිලාම යනව. කොහොම වුනත් මේ මෑතකදී සිදුවුන සිද්ධියක් සහ පහුගිය කාලේ අහන්න ලැබුන දේවල් එක්ක යම්තාක් දුරකට සම්බන්ධයක් තියෙන දෙයක් නිසා ලියන්න හිතුවා.

දවසක් මම ට්‍රේන් එකේ යද්දි ටිකක් විතර වයසක කෙනෙක් තමන්ගේ ස්මාට් ෆෝන් එකක් එක්ක වැඩ. එයා කොයි තරම් වේගවත් ද කියනවා නම් එයාගේ ෆෝන් එකේ ලෝක පැටන් එක ඕන කෙනෙක්ට දකින්න බලන්න වගේම මතක තියා ගන්නත් පුලුවන්. ටිකක් වෙලා යද්දි මේ මනුස්සයා තමන්ගේ බැංකු ගිණුමටට ලොග් වෙලා යමක් කරන්න ලෑස්ති වුනා. ලඟ සීට් එකේ හිටයි නාසා ඒයා කරන දේ මට පෙනුනා වගේම තමා මට ඕන නම් එයා තමන්ගේ අකවුන්ට් එකට ලොග් වුන පාස්වර්ඩ් එක බලාගන්නත් පුළුවන්කම තිබුනා. සාරධර්මාණුකූල නොවන නිසා මම අහක බලා ගත්තත් මිනිත්තූ කිපයකට පස්සේ එයාගේ වැඩේ ඉවර වුනා.

අද කාලේ ඇඩ්වයිස් එකක් දෙන්නත් ටිකක් පරිස්සම් වෙන් ඕන කාලයක් නිසාත් කලින් කතා නොකල කෙනෙක් නිසාත් මිනිහට මේ ගැන කියනවද කියල හිතුවා. ෆ්‍රී ඇඩ්වයිස් එකක් කැමතින්ම් ගතන්න කියල මම මිනිහට පැහැදිලි කරල දුන්න ඒ වැඩේ තියෙන බැරෑරුම්කම ගැන. ටිකක් වෙලා යද්දි මිනිහ තේරුම්ගත්ත කියල මම හිතනවා.

මේක ඇතුලේ මට කියන්න ඕන වුන දේ තමයි මිනිස්සු තාක්‍ෂණය ගන්න කියාට ඒ වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාව තාමත් ලබාගෙන නැහැ. හිතන්න ගේමක් දෙන මිනිහෙකුට ඕන කරන්නේ පොඩි වැඩ දෙකයි කරන්න. එක ඒ මනුස්සය ෆෝන් එකට ලොග්වෙන පාස්වර්ඩ් එකයි, බැංකු පාස්වර්ඩ් එකයි ලබා ගන්න එක. ඒක හරි සරලයි මිනිහ කාටත් පේන්න ඔය දෙකම ටයිප් කරන නිසා සහ වේගයේ අඩු කම නිසා මිනිහෙකුට මතකතායා ගන්න හරි පහසුයි. දෙක ඔය ෆෝන් එක උස්සන එක.  දැන් ඉතින් මිනිහගේ බෑංකු ගිණුම හිස් කරල ෆෝන් එක මිනිහටම ලැබෙන්න සලස්සනවා. සරලයි.

මිනිහෙක් ජීවිත කාලෙම උපයපු මුදල් මිනිත්තුවකින් නැති වෙලා යනව. හේතුව තමයි තමන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල. ඉතින් මේ ටික ලියද්දිම අපූරු ෆඨිල්ම් එකකුත් හම්බුනා ඒ වගේ දෙයක් ගැනම. ඒ තමයි Beekeeper පුලුවන් අය ඒකත් හොයාගෙන බලන්න. අවසානෙදි කියන්න තියෙන්නේ තාක්‍ෂණය ලංකරගන්න. මොකද ඉදිරියේ දී තාක්‍ෂණය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනකව. හැබැයි ඒ එක්කම ඒ ඒ දේවල් වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාවයටත් ලබා ගන්න. නැතිනම් ඔයාල අසරණ වෙනවා. ඒ වගේ දේකදි මොනවත් කරන්න නීතියටවත් බැහැ.

පත්තායම වී මනින්න


දමිත් අසංක කියන්නේ වැඩිය විචාරයට පාත්‍ර නොවන ගායකයෙක්. කාලයක් ක්‍ෂේත්‍රෙය් පේනන් නොහිටියත් දැන් දැන් ආයෙත් ගීත වේදිකාවල දකින්න ලැබෙන චරිතයක්. මොකක්දෝ හේතුවක් නිසා ඒ හඬට අමුතු ගතියක් තියෙනවා. ඒ නිසාම ආයෙ ආයෙත් අහන්න හිතෙනවා. මේ තියෙන ගීතයත් එහෙම නැවත නැවත අහන්න හිතෙන ගීතයක්.

විමාලක මුහන්දිරම් විසින් රචනා කරපු මේ ගීතය ඉතිහාස කතාවක් පදනම් කරගෙන සිදු වුනා කියල තමයි කියන්නේ. ඒ ලංකාවේ අවසන් රජු වුන රාංසිංහ රජු සමයේ සිදුවීමක්. ඒ පද වලට ප්‍රියාන් පතිරණ දීපු සංගීතයත් මම කලින් කිව්ව වගේ දමිත් අසංකගේ හඬත් අපූරු සංයෝජනයක්.

ගීතය ගැන කියන්න කලින් ඉතිහාසය ගැන ටිකක් මතක් කලා නම් මේ ගීය තේරුම් ගන්න, මේ ගීයට කොයි තරම් බලවත් ද කියන එක තේරෙනවා. රාංසිංහ රජ්ජුරුවෝ කියන්නේ ටිකක් අමුතු විදිහේ නීතිරීති තිබුන පාලකයෙක් බව හැමෝම දන්නවානේ. ලමයෙක් වණයක දාල කොටන්න තරම් කෘරත්වයත් තිබුනා වගේම සමහර තැනක විහිලු තහලු අහන්න සංගීතය නැටුම් වලින් පිනැවෙන්නත් රාජසිංහ රජු කැමති කෙනෙක්. ඒ නිසාම තමා ඒ කාලෙ රජුට කොයි කවුරුත් බය වගේම රජු මොකක් කරයිද කියන අවිනිශ්චිත බව එක්ක ජීවත් වෙලා තියෙන්නේ.

පත්තායම කියන්නේ වී අරටුවට, වී බිස්සට. රජුගේ ඉඩම් ඒ කියන්නේ ජනයවා භුක්ති විඳින ඉඩම් වලින් අස්වැන්න  ගතාතාම රජුන්ගේ පංගුව වෙන් කරන්න ඕනි. අස්වනු නෙලල පත්තායම් පිරෙව්වට පස්සේ ඒ පත්තායම් වලින් වී මැනල රජුගේ පංගුව ගන්න වෙනම නිලධාරියෙක් ඉන්නවා. බදු නිලධාරියෙක් වගේ. එයාට කියන්නේ පත්තායම් නිළමේ. මේ කාතාව කියන්නේ ඒ නිළමේ කෙනෙක් කතා නායක කරල. මේ නිලධාරියාගේ ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක්. මේ කාන්තාව බිරිඳ වෙන්න තියෙන ඉඩ වැඩියි. නමුත් ආදරවන්තිය වෙන්නත් පුලුවන්.

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ
 
පත්තාමේ වී මණින්න පුලුවන් වුනාට තමන්ගේ ආදරේ මණින්න බෑ කියල නිළමේ කියනවා. මෙතැනදී මම නම් හිතන්නේ ඇය මොකක් හරි දෙයක් නිසා ටිකක් අමනාපෙන්. ඉනිත් තමන්ට කිසිම ආදරයක් නැහැ කියල කරපු චෝදනාවකට පිළිතුරක් විදිහට කියන දෙයක් වගේ තමා මේක අරුත් වෙන්නේ.

හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ
 
හන්තානට මුවා වෙලා නෑඹුල් සුසුම් හෙලන්න කියල ඔහු කියනවා. ඒ ඇයට ඔහු නැති නිසා සොවින් හෙලන සුසුම් හැංගිලාම හෙලන්න කියල කියනවා. මේකට හේතුව ඉතිහාසසයෙන්ම ගන්න පුලුවන්. රංජසිංහ රජු ඒ කාලේ ලොකු අන්ත:පුරයක් තියාගෙන හිටි කෙනෙක්. තව රජු ගම් නියම් ගම් වල සැරිසරද්දී දකින සුන්දර කාන්තාවන් පවා ඔහුගේ අන්ත:පුරයට බඳවාගන්නවා. ඒ අයව ගම් වලම රජු වෙනුවෙන් වෙන් කරල තියන්න කටයුතු කරනවා. ඒ ඒ පැති වල යද්දී ඒ ඒ පැත්තේ බිසවක් ඉන්නවා. ඉතින් මේ නිළමේ තමන්ගේ ආදාරයට කියන්නේ හන්තාන වගේ විශාල කන්දක් පාමුල හැංගිලා ඉන්න කියලයි. මොකද රජ්ජුරැවෝ දැක්කොත් අන්ත:පුරයට බඳවා ගන්න තරම් අතිමහත් රූප ශ්‍රීයක් ඇය සතු නිසා. නොයිඳුල් සුසුම් තමන් වෙනුවෙන් ම වෙන් කරගෙන ඉන්න කියල ඇයට කියනවා.

රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ

රාසිං දෙයායෝ කියන්නේ රාජසිංහ රජුට කියන නාමයක්. මේ රජුගේ තරම ගැන කියන්න අපූරු යෙදුමක් භාවිතා වෙනවා. ඒ තමයි රජුගේ කැමැත්ත නැතිව ඩර එළිය වැටුනත් ඒක වරදක්. ඒ වරද වෙනුවෙන් කිසිමසමාවක් නැහැ. දඬුවම මරණය වෙන්න පුලුවන්. ඉත්න ඒ තරම් කෙනෙක් යටතේ රාජකාරි කරන මං අතින් වරදක් වුනොත්, ප්‍රමාදයක් වුනොත් වෙන දේ හිතා ගන්නවත් බැහැ. ඒ නිසා දෙවියන්ට කරන කාර්යයක් විදිහට සළකලා තමා රාජකාරි කරන්නේ. එහෙම තමා අපේ ජීවිතේ ගලන්නේ.

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ

පුරුෂ මූලික සමාංයක් වුන අතීතය තුල ගෘහමූලික පිරිමියාට පස්සේ තමා කාන්තාවක් කෑම ගන්නේ. ඒ නිසා හවස් වෙලා කලුවර වැටෙද්දී නුඹට තනිකම සීතල දැනෙන්න ගනීවි.ඒ වුනා කියල නොකා නොබී මම එනකන් ඉන්න එපා. මොකද මම එන වොලවක් කනියන්න බැහැ. ඔය සුසුම් වලින්, වැට මායිම් වලින් එපිට ඉඳන් ගෙට එළිය දෙන සඳ වගේ මමත් දුර ඉඳන් මගේ ආදරය නුඹ වෙනුවෙන් දෙනවා. රාජසිංහ රජුගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම කැප කරපු ජීවිතයක් වුනත් මගේ සිතුවිලි හැම විටම ඔයා ලඟ කියල තමා නිළමේ තමන්ගේ ආදරවන්තියට කියන්නේ.

මේ ගීතය අපූරු ප්‍රේම කතාවක් විතරක්ම නොවී ඉතිහාස කතාවකුත් වෙන්නේ ඒ නිසා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ ගීය ආයෙත් අහල බලන්න කියල.

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ
සඳයි ජීවිතේ

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන්සීරුවේ හීන්සීරුවේ

ගායනය : දමිත් අසංක
ගී පද : විමාලක මුහන්දිරම්
සංගීතය : ප්‍රියාන් පතිරණ