මගේ ගමන් බිමන් තිස්හය වන කොටස - පුළුන් ඇල්ල

රත්නපුර පැල්මඬුල්ල පාරේ පාතකඩ කියන ප්‍රදේශයේ තමා මේ දිය ඇල්ල තියෙන්නේ. ප්‍රධාන මාර්ගයෙන් දේවාලගම මාර්ගයේ කිලෝමීටරයක් විතර ගියාම මෙතැන දකින්න පුළුවන්. පුංචි දිය ඇල්ලක් වුනත් ලස්සන තැනක්.
සිගපුලි කන්දෙන් ආරම්භ වෙන දිය පාර මවන දිය ඇල්ලේ මුළු උස මීටර 86ක් විතර කොටස් දෙකක් විදිහට ඇද හැලෙන දිය ඇල්ලේ ඉහල කොටස මීටර 9ක් විතර. දිය ඇල්ලේ පළල මීටර 12ක් විතර වෙනවා. ගල් පැල්මක් අතරින් වැටෙන දිය ඇල්ල ගොඩක් ලස්සනයි. පළවෙනි කොටස වතුර වැටිලා පොකුණක් හැදිලා වතුර ගලාගෙන ගිහින් තමා වෙනි කොටස හැදෙන්නේ. දිය ඇල්ලේ වතුර වැටෙද්දී පුළුන් විසිවෙන විදිහට පේන නිසා තමයි මේ ඇල්ල පුළුන් ඇල්ල කියල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

මට ලැබුණු පුංචි කාලයේදී ඒ තැන බලන්න ගියේ නාන්න එක්කමයි. ඒත් ඉතින් වැස්ස නිසා බලන්න තිබුණු ප්‍රමාණය අඩු කරන්න වුනා. වැස්සෙනුත් දිය ඇල්ලෙනුත් නාගෙනම ආයේ ආවේ තවත් දවසක් ඒ වෙනුවෙන් වෙන්කරන්න හිතාගෙනමයි. හැබැයි විනාශ කාරයෝ මත්පැන් පාවිච්චි කරල ඒ ඒ ද්‍රව්‍ය මේ ප්‍රදේශයේ දාල යන එක නම් සෑහෙන්න දකින්න ලැබුණා. බලන්න දකින්න මේ තැන් ඒත් විනාශ කරන්න නම් එපා...!

අනිත් පින්තූර......

ගමන් බිමන් වල තිස්පස් වන කොටසට.....

මගේ ගමන් බිමන් තිස්පස් වන කොටස - ශ්‍රී පාදය වන්දනා කරන්න

ශ්‍රී පාදය වන්දනා කරන්න ලංකාවේ තියෙන තැන තමා සමනල කඳු මුදුන. මෙතැනට යන්න මාර්ග හයක් සඳහන් කරන්න පුළුවන්. එයින් ප්‍රධානම වෙන්නේ කිලෝමීටර 8.5 තියෙන රත්නපුර - පලාබද්දල මාර්ගය, කිලෝමීටර 5ක් තියෙන හැටන් - නල්ලතන්නි මාර්ගය හා කිලෝමීටර 12ක් තියෙන කුරුවිට - එරත්න මාර්ගය. ඊට අමතරව මුලේවත්ත, මුකූවත්ත හා මාලිම්බොඩ කියන මාර්ගත් තියෙනවා. මෙයින් වැඩිපුරම භාවිත කරන්නේ පලාබද්දල හා නල්ලතන්නි මාර්ග දෙක. ඒකට හේතුව වාහන ගමනාගමනයට සුදුසු හා කෙටි මාර්ග කියන කාරණා දෙක සම්පූර්ණ කරන්නේ මේ මාර්ග දෙක වීම. එරත්න පාරත් ටිකක් විතර පාචිච්චි වුනත් ඒ මාර්ගය අපහසු නිසාවෙන් භාවිත කරන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතින් කඳු මුදුනට නම් තියෙන්නේ පාරවල් දෙකයි. අනිත් පාරවල් සියල්ල මගදී සම්බන්ධ වෙලා පාරවල් දෙකක් නැගෙනහිර හා දකුණු දිශා වලින් සමනල කඳු මුදුනට එන්න පුළුවන්. කඳු මුදුනට කිලෝමීටර 2ක් කලින් තමා එරත්න පාර හා පලාබද්දල පාර සම්බන්ධ වෙන්නේ.
සමනල කන්දට විවිධ නම් විවිධ ආගම් වල අය පාවිච්චි කරනවා. සමනලුන් විශාල වශයෙන් පැමිණෙන තැනක් නිසාවෙන් සමනල කන්ද, බුදුන් වහන්නේ, සමන් දෙවිඳුන්ගේ ආරාධනා පිළිගෙන ශ්‍රී පාදය තැබූ තැන නිසාවෙන් ශ්‍රී පාද කන්ද විදිහටත්, සමන් දෙවිඳුන් වැඩ සිටින කන්ද නිසාවෙන් සමන්තකූඨය විදිහටත් බෞද්ධයින් ව්‍යවහාර කරනවා වාගේම ශිව දෙවිඳුන්ගේ පාද තැබූ තැනක් විදිහට සවගරෝහරම් විදිහට හින්දූන් හා ද්‍රවිඩයින් පාවිච්චි කරනවා. මෑණික් සුලභ කඳුවැටියක් නිසාවෙන් රත්නගිර විදිහටත් කිතුනුවන්ගේ විශ්වාස පරිදි ආදම් හා ඊව, පලමු මිනිසුන් හමුවූ තැන විදිහටත් එනිසා ආදම්ගේ කඳුමුදුන (Adam’s peak) විදිහටත් හඳුන්වනවා. තවද රාමායණයේ කියවෙන විදිහට රාවණ රාජධානියේ කියවෙන තිරිකුඨ පර්වතය මේක කියලත් විශ්වාසයක් තියෙනවා. කොහොම වුනත් මීටර 2244ක් උස මේ කඳු මුදුන තරණය නම් ලේසි නැහැ. මහවැලි, කැලණි, කලු හා වලවේ යන ප්‍රධාන ගංගා හතර පටන්ගන්නේ මේ කඳු මුදුනින් වීමත් වි‍ශේෂයි.
සාමාන්‍යයෙන් වන්දනා කාලය විදිහට සලකන්නේ දෙසැම්බර් - මැයි කාලය. අනිත් කාල වලදී සුලඟ අධික වන අතරම වැස්ස හා අධික මීදුම් තත්ත්ව නිසා තරණය නම් අපහසුයි. නමුත් බුදුදහම ගැන කියැවෙන්නා වූ ග්‍රන්ථ වල සඳහන් විදිහට මේ කාලය දෙවියන් වෙනුවෙන් වන්දනාව සඳහා වෙන්වෙලා තියෙනවා. තවද මේ කියන ප්‍රදේශය විවිධ හාස්කම් වලින් පිරුණු ස්ඨානයක් විදිහටත් එතැන සිදුවුණ හාස්කම් ගැන විවිධ කතාන්දර පවා ජනවහරේ තියෙනවා. පෙර දවස නිල් මැණිකක් මත තිබූ පාද ලාංඡනය දකින්න තැනක් තිබූ බවත් පසුව නිධන් හොරු හා ත්‍රස්තවාදීන් නිසාවෙන් එම ස්ථානව වසා දැමූ බවත් කියවෙනවා. (ඔයාලා දන්න ජනප්‍රවාද තියේනම් කොමෙන්ටු හැටියට දාන්න අනිත් අයට දැනගන්න)
මගේ ගමන පටන්ගත්තේ 2013 අප්‍රේල් මාසයේ හය වෙනිදා. හුඟක් අය අවුරුදු නිසාවෙන් යන්න අදිමදි කරත් අමාරුවෙන් දහදෙනෙක් හොයාගෙන ගමන පටන්ගත්තේ රත්නපුර පලාබද්දල මාර්ගයෙන්. දවල් එකට පටන් ගත්ත ගමන පහල තියෙන පන්සලෙන් කිරිකෝඩු” (පලවෙනි පාර වන්දනා කරන) අයට ආශිර්වාද පඬුරු බැඳගෙන ආරම්භ කලා. ගිය අයගේ අසනීප අමාරුකම් නිසාවෙන්ම හැරමිටිපානට එද්දී රාත්‍රී 10ට විතර ඇති. එන අතරතුර ලිහිණිහෙල බලාගෙන, ගෙත්තම්පානෙන් කිරිකෝඩු අය ගෙත්තම කරල සීත ගඟුගෙන් නාවගෙන පේවෙලා එන්නත් අමතක කලේ නැහැ. හැරමිටිපානේ පැය දෙක තුනක් ගිමන් හැරපු අපි එකට විතර ආයෙත් ඉතිරි ටික තරණය කලා. කොහොම වුනත් අමාරුම හරිය වෙන මහගිරිදඹ තරණය කරල විදේශිකයන්ගේ ඇස් කුල්මත් කරන විශේශිතම දෙයක් වුන ඉර සේවය බලන්න ප්‍රමාද නෙවෙන්න තරම් හා පැහැදිලි අහසක ඉරසේවය බලන්න තරම් අපි වාසනාවන්ත වුනා. ඒ විතරක් නෙවෙයි මේ කන්දේ හෙවනැල්ල නියම ත්‍රිකෝණාකාර එකක් වීමත් විශේෂයි. යන අතරේ පුංචි දිය පාරක් වුන කළු ගඟේ ආරම්භය හරහා යන්නත් පුළුවන් වුනා. කළුතරින් මුහුදට වැටෙන කළු ගඟ හරහා යන එකත් එක්තරා විදිහක වීරකමක්. ඒත් එක අඩියයි තිබ්බේ. =D

කඳුමුදුණේ ඉර සේවය බැලුවි විතරක් නෙවෙයි ඔයාලට බලන්න ඒක පටිගත කරන්නත් මම අමතක කලේ නෑ. මෙන්න වීඩියෝව.
සිංහල බෞද්ධයන් වෙනුවෙන් මෙන්න ශ්‍රී පාද වන්දනා ගාථාව.

                                    යං නම්‍මදාය නදායා පුලිනෙ ච      තීරෙ
                                    යං සච්චබද්ධ ගිරිකෙ     සුමනාචලගේග
                                    යං තත්ථ යොනකපුරෙ මුනිනො ච පාදං
                                    තං පාදලාඤ්ඡනමහං සිරසා          නමාමි

මෙහි කියවෙන තේරුම වන්නේ බුදුරජාණන් වහන්සේගේ යම් පාසලකුණක් නර්මදා නදියේ ඉවුරේ වැලිතලාවේද, යම් පා සලකුණක් සච්චබද්ධ කඳු මුදුනේද, යම් පාසලකුණක් සමන්තකූට පර්වත මුදුනේද, යම් පා සලකුණක් යවන දේශයේ වේද, ඒ උතුම් වූ ශ්‍රී පාද ලාංඡන මම සිරසින් නමදිමි යන්නයි.

කඳුමුදුණේදී විවිධ වර්ගවල විවිධ ප්‍රමාණයෙන් යුතු සමනලුන් දකින්න ලැබෙද්දී මේ කන්දට සමනල කන්ද කියන්නේ ඇයි කියලා තේරුණා. පූජාවෙන් පස්සේ සිරිපතුල වැන්ඳ අපි හැටන් පාරෙන් එන්න පිටත් වුනා. ඒ මාර්ගයේ ගමන පහසු නිසයි ඒක තීරණය කලේ අනිත් කරුණ තමා වෙනසක් ලබාගන්න. එන අතරතුර හමුවෙන මධ්‍යකාලීන සිංහලයෙන් ලියූ 12වන සියවසට එහෙමත් නැතිනම් නිශ්ශංකමල්ල රජු දවස ඒ කියන්නේ ක්‍රිස්තු වර්ශ 1187-1196 දක්වා කාලයට අයත් සෙල්ලිපියක් සහිත භගවා ලෙනද දකින්න ලැබුණා. එහි සඳහන් විදිහට නිශ්ශංකමල්ල රජ විසින් රට එක්සේසත් කරල නව රාජ්‍ය වර්ශය සඳහා සියළු ආභරණ වලින් සැරදී ඔටුණු පැලඳ ශ්‍රී පාදය නමස්කාර කරල තියෙනවා. එතැනින් පහලට එද්දී නිචි ෆූජි නමින් හැඳින්වෙන ජපන් බෞද්ධ තෙරුන්වහන්සේ විසින් 1976දී නිර්මාණය කල සාම චෛත්‍යය අපට දකින්න පුළුවන් වුනා.

ගිය නඩේට එහෙමත් නැත්තම් කණ්ඩායමට කලින් ආව මම සීත ගඟුලේ කකුල් ඔබන් හිටියේ මහන්සිය නැතිවෙන්නත් එක්ක. අවසානයේ පහල තිබුණ සාම චෛත්‍යය වන්දනා කල අපි ගමනේ අවසානයට ලංවුනා. කියන්න කණගාටුවට කාරණාව නම් කොච්චර නාම පුවරු දැනිවීම් තිබුණත් කුණු කසල ඇති තැන් නම් එමටයි. සංචාරය කරන අයගෙන් ඉල්ලන්නේ මෙතැන විනෝද වන ස්ථානයක් නෙවෙයි. මේක අපේ ආගමික ස්ථානයක් නිසාවෙන් එතැනට ඔබින විදිහට එන්න. අනික මේ සියළු අපිරිසිදු කිරීම් කරන්නේ ශ්‍රී ලාංකියන් වීම නම් බොහෝම නරක දෙයක්. අපි කොයිතරම් අමාරුවෙන් කන්ද තරණය කලත් ද්‍රව්‍ය රැගෙන යන ගොඩ දෙනෙක් ඉන්නවා. ඉහල ඇති කඩ වලට අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න ඒක ජීවිකාව කරගත්ත අය ගොඩක් දවසට දෙපාරක් කන්ද තරණය කරනවා. නල්ලතන්නියෙන් හැටන් වලට ඇවිත් දුම්රිය ගමනකට සූදානම් වෙලා ආවත් කාලවේලාවේ පරක්කුවන් නිසාවෙන් ඒක බැරිවුනා. පස්සේ බලංගොඩ නගරයට බස්එකේ ආව අපි එතැනින් පැල්මඬුල්ල නවාතැනට ආවා. එද්දී බස්එකේදී කතාබහ කල දෙමල අයගේ විවිධ කතාවලින් තවත් හොයන්න පැති ගොඩක් එකතු කරන් ගමනේ අවසානයට ආවා.


මගේ ගමන් බිමන් තිස්හතර වන කොටස - බද්දේගම වින්ටර් තොටුපල


මේ කියන්නේ ගාල්ලේ බද්දේගම තියෙන පුංචි තොටුපලක් ගැන විස්තරයක්. ගිංගඟට තොටුපල කොච්චර තිබුනත් මේ තොටුපලට විශේෂ තැනක් තියෙනවා. ඒ ලංකාවේ මුල්ම පුවත් පත් කතුවරයා වුන ජෝර්ජ් වින්ටර් මහත්මයා සිලෝන් ඔබ්සර්වර් ඇන්ඩ් කොමාෂල් ඇඩ්වර්ටයිසර් නැමැති කෘතියේ සංස්කාරක ධූරයෙන් සමුඅරන් ව්‍යාපාර කටයුතු අත්හැරල ගිං ගඟ දිගේ ඇවිත් මෙන්න මේ තොටුපලෙන් බැහැල සන්සයිඩ් ඉඩම මිලදී අරන් තියෙනවා. ඒ 1841 දී. ගාල්ලේ උක්වගාව ප්‍රචලිත කරල ගාලුතොටින් අපනයනය කරල තියෙනවා.









 
පස්සේ නිල් නිශ්පාදනයත් කරල තියෙන්නේ මේ වින්ටර් මහත්මයාමයි. එයට අවරිය පැල හිටවපු තැන අදටත් නිල්හේන විදිහටත් උක් සිටවූ ප්‍රදේශය උක්වත්ත විදිහටත් තාම ව්‍යවහාරයේ තියෙනවා. පැඟිරි වගාව හා මුල්ම වතාවට කොස් ලීයෙන් ගෘහභාණ්ඩ නිශ්පාදනය කරල තියෙන්නෙත් මේ වින්ටර් මහත්මයා මයි. මෙන්න මේ වින්ටර් මහත්මයා ගාලු පුරවරයට කල සේවය නිසාවෙන්ම ඔහු ගොඩබැස්ස මේ තොටුපල වින්ටර් තොටුපල විදිහට ඔහුට ගෞරවයක් විදිහට හැඳින්වුනා.









නයිපෙණ පහ සහිත මුරගල් දෙකක්, සිංහ රෑප දෙකක් හා සඳකඩ පහණක් මේ තොටුපලට සිංහල පෞඩත්වය එකතු කරල තියෙනවා. නයිපෙන අපේ සිංහල නාවික කටයුතු සනිටුහන් කරන දෙයක් බවත් මේ වෙලාවේදී කියන්නම ඕන. දැන්නම් මේ තොටුපල ජරාවාස වෙලා වගේම කෑලෑවට ගිහින්. අප්‍රසිද්ධියේම තියෙනවා. බලන්න තරම් ලස්සන දෙයක් කියන්න නම් බැරි වුනත් අපේ ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහට සලකලා බැලුවොත් වටිනවා. ඒ වගේම සුද්ධ පවිත්‍ර කරල ගත්තා නම් තවත් ගොඩක් බලන්න සිතෙන ආකාරයක් ගනීවි.

ගමන් බිමන් තිස්තුන කොටසට....

මගේ ගමන් බිමන් තිස්තුන් වන කොටස - හිමිදිරි පෙදෙස (මෝ(ර්)නින්ග් සයිඩ්)

ගාල්ල රත්නපුර මාර්ගයේ සූරියකන්ද ප්‍රදේශයේ ඉඳන් කිලෝමීටර 6ක් විතර දෙනියාය පැත්තට එද්දී අපට මේ කියන ප්‍රදේශය දක්වා විහිදුනු මාර්ගය පෙන්වන නාමපුවරුව දකින්න පුළුවන්. මාර්ගය නම් දුශ්කරයි. යතුරු පැදියක් හෝ ධාවකරෝද සතර මාදිලියේ වාහනයකින් නම් පහසුවෙන් යන්න පුළුවන්. අපි සතර දෙනෙක් ත්‍රී රෝද රථයක් තමා ගමනට යොදා ගත්තේ. දවල් එකොලහට විතර පැල්මඬුල්ලෙන් පිටත්වුනා. මොනින්ග් සයිඩ් පාර වාහනයක් යන්න තරම් සුදුසු පාරක් නොවෙයි. සංවර්ධන ව්‍යාපෘතියක් දැකලවත් නැති පාරක්. කොහෝම වුනත් සමහර තැන් වලදී ත්‍රීරෝද රථය උස්සල වගේ තමා ගත්තේ. ගමනෙන් බාගයක් විතර එහෙම ගිය අපි ත්‍රීරෝද රථය මග දාලා පයින් යන්න තීරණය කලා.












වටපිටාවේ ලස්සන තැන් බලාගෙන කැලෑව මැදින් වැටුනූ පාරක් දිගේ ගිය අපි මාර්ගයේ අවසානයක් ගැන හාංකවිසියක්වත් දැනන් හිටියේ නම් නැහැ. මගදී ඇතිවුන බඩගින්න මහන්සිය නිසාවෙන් ගමන අතෑරල දාමු කියල අනිත් අය කිව් වාර අනන්තයි. ඒත් මට නම් තිබ්බේ මෙතැන මොකක්ද තියෙන්නේ කියල බලන ආසාව විතරයි. කොහෝම වුනත් මේ සියල්ල විඳගෙන එද්දී අපේ මහන්සිය හා බඩගින්න මොහොතකට නිවන්න කැලේ තිබ්බ ඇඹුල් පේර ගස් ටිකක් සෑහෙන්න උදව් කරා. ඒකෙන් පණ ගැහුන අපිට තව දුරක් යද්දී මෝනින්ග් සයිඩ් පර්යේෂණ බංගලාව දකින්න හම්බුනා. දැන් කිලෝමීටර 5ක් විතර පයින් ගාටපු අපි හිතුවේ මෙතැනින් ගමන ඉවරයි කියල. එතැන හිටි කෙනෙක් ගෙන් මේ තැන ගැන ඇහුවාම කිව් දෙයින් අපිට මොහොතකට ගමන ගැන කලකිරීමක් ඇති වුනා. ඒ මොනින්ග් සයිඩ් කියන්නේ මේ ප්‍රදේශය තමයි. තවත් කිලෝමීටර 2ක් විතර ගියාම මොනින්ග් සයිඩ් තේ වත්ත දකින්න පුළුවන් කියන ආරංචිය.
කොහෝම වුනත් ආව එකේ ඒකත් බලල යමු කියන මතය අපි තුල රජකල නිසාවෙන්ම අපි ඉතිරි කිලෝමීටර දෙකක් යන්න තීරණය කලා. කෑලෑව තුලින් වැටුනු මාර්ගයකට එලැඹි අපි ජල පහරවල් වල නැවුම් ශබ්දය කුරුළු ශබ්ද අහගෙන ගියත් අලින්ගේ වසුරු දුටු වෙලාවේදී නම් ටිකක් විතර බය වුනා. 2008 දී ආරම්භ කල මේ තේ වත්ත හෙක්ටයාර 0.2ක් තරම් කුඩා ප්‍රමාණයේ එකක්. සවස තුනත් පුහුවෙලා තිබ්බ නිසා අපි එන්න පිටත් වුනත් දිය ඇල්ලකින් ඇහුනු සද්දයක් නිසා ආයෙත් අපේ ගමන් දිශාව වෙනස් කලා.


 

 







අඩි 15ක 20ක විතර දිය ඇල්ලක් වුනත් අපේ තිබ්බ මහන්සිය නැති කරන්න නම් ඒක හොඳින්ම ප්‍රමාණවත් වුනා. ඒ අසිරියත් වින්ද අපි රෑ වෙන්න කලියෙන් එන්න හිතන් වේගවත් ගමනක යෙදුනා. කියන්නා සේම මේ ප්‍රදේශයේ දේශගුණය සම්පූර්ණ කාලයම තිබුනේ උදය කාලයේ තියෙන හිරු එලිය හා ස්වභාවය විතරමයි. දෙණියාය, සූරියකන්ද ප්‍රදේශවල තියෙන දේශගුණයෙන් සම්පූර්ණ වෙනස් දේශගුණයක් මේ ප්‍රදේශය පුරාවට පැතිරිලා තියෙනවා. ලස්සන තැනක් ගිහින් බලන්න. ඒත් ඉතින් ගමන නම් දුශ්කරයි කියන එක කියන්න ඕන.

පින්තූර සියල්ල....

ගමන් බිමන් වල තිස්දෙවන කොටසට....