මගේ ගමන් බිමන් එකසිය විසි දෙවෙනි කොටස - සීගිරිය, පිදුරංගල හා කණ්ඩලම වැව

මගේ ගමන් බිමන් කොලම දැන් දැන් සෑහෙන්න අඝාදයකට ලක්වෙලා. මොකද දැන් මම වැඩිය ඇවිදින්නේ නැති නිසා. ලංකාවේ බොහෝමයක් තැන් වල ගිහින් තියෙන නිසා දැන් ඇවිදින්න යන එක උත්තේජනයක් වෙන්නේ නෑ සමහර වෙලාවකදී. කොහොමින් කොහොම වුනත් ආයෙත් ගමන් බිමන් වලට පණ දෙන්න හිතාගෙන ගිය ගමනක් තමා සීගිරිය.

ඓතිහාසික වංශකතාවන් ගණනාවක් දරාගෙන ඉන්න මේ පර්වතය පිහිටලා තියෙන්නේ දඹුල්ලේ ඉඳන් කිලෝමීටර 18ක් විතර දුරින්. මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ කිඹිස්ස ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම පර්වතය ආසන්න වශයෙන් අඩි 600ක් විතර උසයි. මේක ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වුනා කියල තමා කියවෙන්නේ. ශේෂ වූ කඳුපන්තියක් මත පිහිටා ඇති මෙය සෑම දිශාවකින්ම ගත්තාම ප්‍රපාතයක් විදිහට තමයි තියෙන්නේ. අන්න ඒ නිසාම තමා සීගිරිය බලකොටුවක් වශයෙන් තෝරගන්න හේතුව වෙන්න ඇත්තේ. දිගින් කිලෝමීටර 3ක් හා පළලින් කිලෝමීටරයක ප්‍රමාණයේ විහිදී ඇති මෙහි මුදුන අක්කර තුනක වපසරියකට හිමිකම් කියනවා. ඓතිහාසික පොතපත සඳහන් කරන ආකාරයට සීතිරිය 5වන සියවසේ අග භාගයේ නිර්මාණය කරන ලද්දක් වුනත් දැන් දැන් එහි ඉතිහාසය රාවණ රජුන්ගේ යුගය දක්වා විහිදෙන බව කියැවෙනවා.

පොතපතෙහි සඳහන් ඉතිහාසයේ හැටියට මේ පර්වතයේ ඉතාහාසය අවධි පහක් විදිහට වර්ග කරනවා. කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා), කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා), පසු කාශ්‍යප යුගය(ක්‍රි.ව.6-13 දක්වා), අප්‍රකට යුගය(ක්‍රි.ව.13-17 දක්වා), මහා නුවර යුගය(ක්‍රි.ව.17-19 දක්වා) සහ නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා) විදිහට. තැනිතාලාව මත උතුරට නෙරා තියෙන පර්වතය පැරැන්නන්ගේ බිය ගන්වන සිංහයෙකුගේ ආකාරයෙන් තිබෙන නිසා එය සිංහගිර පසුව සීගිරිය වුනා කියල කියනවා. පැරැන්නන් වගේම නූතන යුගයේ පුරා විද්‍යාඥයින්ද මේක දැක්කාම වශිකෘත වුනා කියල 1898 දී තමයි බෙල් මහතා කියන්නේ.ඒ ගැන සීගිරියේ ලියවිලා තියෙන මේ ගීයෙන් කියවෙනවා.

"නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්"

  
පුරාණ ශ්‍රී ලාංකේය වංශකථාවක් වන කුලවංශයට අනුව, මෙම ප්‍රදේශය විශාල වනාන්තරයක් වූ අතර, පසුව කුණාටු සහ නායයෑම් නිසා එය කන්දක් බවට පත් වූ අතර, කාශ්‍යප රජු (ක්‍රි.ව. 477-495) විසින් ඔහුගේ නව අගනුවර සඳහා තෝරා ගෙන ඇතිබවයි. ඔහු මෙම පර්වතය මුදුනේ තම මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් බිතුසිතුවම් වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළට කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කළේය. මෙම ස්ථානයේ නම මෙම ව්‍යූහයෙන් ව්‍යුත්පන්න වී ඇත. රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රජ මාලිගය අත්හැර දමන ලදී. එය 14 වන සියවස දක්වා බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා කරන ලදී. සීගිරිය අද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. එය පැරණි නාගරික සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයකි.


ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ.

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා 10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
 

පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ. මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

තවද සීගිරි බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්‍ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ. සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සාහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි, සිහිනිඟ, මස්පිඩු පිරුණු පුළුලුකුල, වට වූ පුන්පියයුරු, දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි. ක්‍රි. ව. 8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502 කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.

තවද සීගිරි චිත්‍ර පිළිබඳව එච්.සී.පී.බෙල් මහතා මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත්  ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බවද කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත. ආනන්ද කුමාරස්වාමිගේ මහතා සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවත් ප්‍රකාශ කර ඇත. නන්දදේව විජේසේකර මහතා "රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බව ද මාර්ටින් වික්‍රමසිංහයන් මෙම චිත්‍රවලින් දිය කෙළියක් දැක්වෙන බවත් මහාචාර්ය සෙණරත් පරණවිතාණ මහතා විසින් රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවත් ප්‍රකාශ කර ඇත. සිරි ගුනසිංහ විසින් තර්ක කළේ සීගිරිය හුදෙක් සෞන්දර්යය වින්දනය කිරීම සඳහා වූ විවේකස්ථානයක් වශයෙන් කාශ්‍යප රජු විසින් ඉදි කරනු ලැබූ බව යි. ඒ අනුව සීගිරි සිතුවම්වල දැක්වෙන කාන්තාවන් හුදෙක් සුන්දරත්වය අරමුණු කරගෙන සිතුවමට නැඟුණු සාමාන්‍ය ස්ත්‍රී රූප බවත් ඒවායේ වෙනත් සංකේතාත්මක හෝ ආගමික අර්ථයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තර්ක කරයි.

සීගිරියේ විශේෂ ලක්ෂණ විදිහට නාගරික සැලසුම්කරණය, ආරක්ෂාව පිළිබඳ උපක්‍රම, පාරිසරික නසම්බන්ධතාවයේ ඇති දායකත්වය, ලෙන් නිර්මාණය, ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව, නිර්මාණකරණය සඳහා ගල් භාවිත කිරීමේ ස්වරූපය, හුණුගල් භාවිතය, ගඩොල් භාවිතය, ක්‍රි. ව. 5වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම, ඉංජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය (ජල උද්‍යානය,වතුර මල්,පොකුණු), ගෘහ නිර්මාණ ශිල්පය, කලා ශිල්ප හා සාහිත්‍ය (කැටපත් පවුර, සීගිරි බිතු සිතුවම්, සිංහ පාදය) හා එකල පැවති ජන ජීවිතය (කැණීම්වලදී හමු වූ දෑ, සීගිරි සිතුවම්වල ඇති ආභරණ, ඇඳුම් ආයිත්තම්) ආදිය දක්වන්න පුලුවන්.

1938 දී සීගිරිය මුද්දරයක පසුබිම් කරල තියෙනවා. ඒ ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල තියෙන විදිහට. 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදීල තියෙනවා. එදා සිලෝන් වල ශත දහයට මිලකරල අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට විතර මිළ වෙනව. ඒ සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට. එය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කලා.


සීගිරියේ ඉඳන් පොළව යටින් ජල මාර්ග ගමන් කල හැටි, ඒ වගේම උද්‍යාන හා එම උද්‍යාන වල තවමත් ක්‍රියාත්මක වෙන වතුරමල් ක්‍රියාත්මක වෙන හැටි වගේ දේවල් එක්ක තාමත් මේ පර්වතය හංගපු රහස් ගොන්නක් තියෙනවා. සීගිරියේ එක පැත්තක විතරයි තාම කැනීම් කරල හොයාගෙන තියෙනානේ. අනිත් පැත්තේ වැඩ සෙමින් ආරම්භ කරල තියෙන්නේ. ඉතින් එක පැත්තක කල කැනීම් විතරක් සීගිරිය 8 වෙනි ලෝක පුදුමය කරල තියෙනවා නම් හිතන්න සීගිරිය සම්පූර්ණ කැනීම් කරල ඉතිහාසය ගොඩ ගද්දී ඒකේ තාක්‍ෂණික රහස් එලියට එද්ද මොන තරම් වටිනකමක් ලැබේවිද කියල. සීගිරිය ගැන මහා පරිමාණයෙන් ලියන්න ගියොත් පොතක් ලියන්න ඕනි.

දවස දෙවනි අදියරට වුනේ සීගිරිය එක්ක ගසට පොත්ත වගේ බද්ධ වෙලා තියෙන පිදුරංගල කන්ද. මේක  මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූවක්. ජනප්‍රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ. තවත් ජනප්‍රවාදයකට අනූව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලට, පිදූ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බවත්, පසුකාලීනව එය පිදුරංගල වූ බවත් පැවසෙනවා. තවද ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා. සීගිරියේ ඉඳන් කිලෝමීටර 2.5ක් විතර ගියාම ඉනාමලුව ප්‍රදේශයේ පිදුරංගල පිහිටලා තියෙනවා.  පිදුරංගලට වසර දහස් ගණනක් ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය සීගිරියටත් වඩා අතීතයකට දිවයන අතර ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රි .ව. 477 – 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බැව පතපොතෙහි දැක්වෙනවා. එහිදී පිදුරංගල නැගීමේ ගමන ආරම්භ කරන ස්ථානය වම්පස කාශ්‍යප ස්ථූපය නම් ගරාවැටුණු චෛත්‍යයක නටඹුන් බලන්න පුලුවන්. මෙය කාශ්‍යප රජුගේ මරණයෙන් පසු ඔහුගේ ආදාහන පූජ්‍යෝත්සවය සිදුකළ ස්ථානය ලෙස සැලකෙනවා. පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර දැකගත හැකියි.

ගමනෙහි පළමු කොටසෙහි ගල් පඩි හා අත්වැට ඉදිකර තිබෙන අතර එහි අවසාන කොටස මඳක් අපහසු නැගීමක් ඇති තරමක් තීව්‍ර එකක්. ඓතිහාසික වටිනාකමකින් යුතු තවත් ඉපැරණි ලෙන් විහාරයක් ගමනේ අතරමඟ දී හමුවන අතර, වර්තමානය වන විට මෙහි ඉතිරිව ඇත්තේ නටඹුන් කිහිපයක් පමණයි. මෙහි මීටර 12.5ක දිගකින් යුතු සෙල්මුවා සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ඇති අතර එහි ගරා වැටුණු සමහර තැන් මෑත යුගයේ නැවත පිළිසකර කර තිබෙනවා. මෙහි හිස සහිත කොටස මීට වසර 50කට පමණ පෙර නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර, මෑතක දී ප්‍රතිසංස්කරණය කර ඇති දේවලට එයත් අයත් වෙනවා. පර්වතය මුදුනට ළඟා වූ පසු හාත්පස මනස්කාන්ත දර්ශනයක් පෙනීමට පටන්ගන්නවා. විශේෂයෙන් ම මෙහි සිට සීගිරිය ඉතා අලංකාර ලෙස දිස්වෙනවා. මෙහි උස ම ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් හමුවෙනවා. පිදුරංගල මුදුනතට සීගිරිය පෙනෙන්නේ යම් සේ ද, සීගිරිය මුදුනටත් පිදුරංගල එලෙස ම පෙනෙන අතර කාශ්‍යප රජ සමයේ දී කාශ්‍යප රජු මාළිගයේ සිට ම පිදුරංගල වැඳ පුදාගැනීම සිදුකළ බැව් කියැවෙනවා. සීගිරි චිත්‍රවල ඇති ළඳුන් මල් රැගෙන පිදුරංගල වැඳීම සඳහා යන ලෙස දක්වා ඇති බැව් සැලකෙනවා.

පිදුරංගල අවසානයේ අපි කණ්ඩලම බලන්න හිටියා වුනත් මහ වැස්සක් එක්ක කණ්ඩලම බැම්ම උඩට එද්දි රෑ වෙන්නත් ඇවිත්. ඒත් එතනට පේන පිදුරංගල සීගිරිය වගේම වැස්සත් එක්ක හැඩ වුන කණ්ඩලමත් අමුතු හැඟීමක් ඇති කරනවා. ඒ තැන නම් මට ලස්සනම ලස්සන හවසක්. ඉතින් එතැන ඉඳන් ටිකක් වෙලා වැස්ස බලපු අපි නවතැනට පිටත් වුනා.

එහෙනම් ඉතින් ආයෙත් පුලුවන් විදිහට ලිපියක් ලියනකන් ආයුබෝවන්.....

මේකත් සරුංගල් කාලයක්....

අපේ මලයගේ කොලුව.. ඌ මට කියන්නේ බාප්ප. අපෙ අයියට කියන්නෙ ලොකු තාත්ත. නෑකම් නම් කොහොන් කොහොම හැදිලද අහන්නේ යන්නේ නැති මට උගෙ ලෙන්ගතුකම නෑ කමටත් වඩා වටිනව. අපේ ගෙදර ඉඳන් ගෙවල් තුනකට එහායින් ඉන්නවා වුනත් මම වැඩ ඇරිල එද්දී රෑ වෙන නිසා මේකාව දකින්නේ සෙනසුරාද ඉරිද විතරයි. හැබැයි ඉතින් දවල් කාලයේ සීයයි ආච්චිය බලන්න ඇවිත් නානා ප්‍රකාරයේ දසවද දීල විසඳා ගන්න බැරිවෙන උභතෝකෝටික ප්‍රශ්න ටික කෝල් එකකින් අහනවා. විසඳා ගන්න බැරි ප්‍රශ්ණ අස්සේ සීයා එක්ක දාගන්න වලි, සීයා කියන කතා වල ඇත්ත නැත්තත් විසඳන්න වෙනවා.

උභතෝකෝටික ප්‍රශ්ණ මාලාව බොහෝවිට කුරුලු කූඩු, සර්පයෝ, සත්තුන්ගේ ආහාර විධි වගේ දේවල් ගැන තමා. කොහොම හරි සීය බැන්නත් සීය බාප්පට බැන්නත් කේලමයි නඩුවයි දෙකම කෝල් එකකින් එනව. දැන් මොන්ටිසෝරි යන්න පටන් අරන් තියෙන නිසා ප්‍රශ්න මාලාවයි, කතා විදියයි වෙනස් වෙලා. ඇහිඳින වචනයි ඇහෙන ප්‍රශ්ණයිත් එකතු වෙලා. ඒත් පහුගිය දවසක ඒකාගේ අම්මයි තාත්තයි ලෙඩ වෙලා. ඉතින් කොලුවා පූර්ණ වශයෙන් ආචිචියි සීයයි ලඟ. මිනිහටත් ලෙඩ. හැබැයි ඉතින් මිනිහට මාර සතුටුයි. ඇයි හැමදාම හවසට බාප්ප ගෙදර. බාප්පට වැඩ ඇරිල එද්දි නඩු කටයුතු. හයියෝ....

මේ අල්ලපනල්ලේ අහල පහල කොලුවෙක් සරුංගලයක් හදල. සරුංගල් කාලේනේ.. ඒ මදිවට දවල්ට අහස පුරාම විවිධාකාර සරුංගල්.

හරි ඔයාලට හිතුන වගේම තමා..

නඩුවයි වැඩයි බාප්පට. ගෙදර එද්දිම "බාප්පේ කයිට් එකක් හදල දෙනවැයි". සතියේ දවස් පහක් කොළඹ දුවල ඇවිත් සරුංගල හදන්න වෙලාවක් නැති නිසා සෙනසුරාද හදල දෙන්නම් කීව. කියද්දිම අපේ අම්ම ඇවිත් කීවේ පොරොන්දු වුනාද දැන් ඉතින් ඉඳල ඉවරයි කියල. එය කීවාක් මෙන්මය. කොලුවාට දින සටහන් කාල වේලාවන් නොමැත. හැමදාම හෙට සෙනසුරාදාද අහන්න පටන් ගත්තේය. කෙලෙසක හෝ සෙනසුරාදාට එළඹිනි. 

සෙනසුරාදා යනු මාර්කට් දිනයයි. ගෙදරට අවශ්‍ය බඩු ටික ගෙනත් දමන්නට අවශ්‍යය. කොලුවාගේ අම්මා තාත්තා යම්කිසි ප්‍රමාණයකින් සුව වී ඇති නිසා ඒකා ඒකාගේ අම්මාට බාර දී අපි ටවුන් ගියෙමු. පැමිණි වහා එකම ගැටලුව දැන් කයිට් එක හදනවාද යන්නයි. ඉඳින් ඉරටු ටිකක් හා කිතුල් පිත්තක් කතා ගත්තද බටපතුරක් සොයාගත නොහැකි නිසා ඉරටු වලින් පමණක් සරුංගලයක් හදන්නට සිතුවෙමි. කෑම කා අවසන සරුංගලය හදන්නට සිතා කෑම කන අතරවාරයේ ඇඳ උඩ තිබූ කැමරාව අල්ලාගෙන බාප්පේ කුරුල්ලෙක් ඇවිත් කියන්නේ ද  ඌමය. ඒත් කෑම කා අවසන් වන විට කෙල්ලා නිදිය. ඇඳ උඩ තිබූ කැමරාවත් අතකින් අල්ලාගෙම.

කොලුවාට පෙනෙන්නම "කයිට්" හදන්නට ඕනෑ නිසා මාද වැඩේ කල් දැම්මේ කොලුවා නැගිටින තුරුය. පැය කීපයකට පසු "කයිට් එක හැදුවද අහගෙනම ඇහැරියේය. හදමු හදමු කෝ ආච්චිගෙන් නූල් බෝලයක් ඉල්ලගෙන එන්න කියාගෙනම මගේ වැඩ ටික කල දමා කොල්ලාගේ කයිට් හදන කාර්යය පටන් ගත්තෙමි.

මට අනුව නම් කොල්ලා ඒ සියල්ල උගත යුතුය. ඒ නිසා ඌට වැඩේ කියා දෙන ගමන්ම සරුගංලය හැදුවෙමි. ඒ හදන අතරවාරයේ අපේ අතීතයට දුවගෙන ගියේ ඒ කාලයේ විවිධාකාරයේ සරුංගල ගමේ උන්ගේ ඕඩර වලට හදා ගෙදර සාලයේ පුටු උඩ තබා අම්මාගෙන් බැනුම් ඇසූ හැටිය. "ගෙදරට කවුරු හරි ආවම කොහේද වාඩි කරන්නේ මං. හැම පුටුවෙම සරුංගල්. අයින් කරනව මේවා." ඒ අම්මාගේ ආදරණීය වදන්ය. මොණරුන්, ඔටුණු, වව්ල්ලු / කපුටෝල මී මැස්සෝ, පෙට්ටි සරුංගල, නයි, සමනල්ලු වාගෙ විවිධාකාර සරුංගල වෙති.

සරුංගල යැවීම වෙනම කලාවක්ය. සරුංගලයට ගැලපෙන සුලඟක් එන එක. සරුංගලයක් උඩ හුලඟට අනලනකන් හරියට මුදුන් කරවන හැටි, නූල් දෙන හැටි, හුලං මාරු වෙද්දී කූරියා ගැහුවොත් නෙච්චියක් දීල ඒක ගොඩ දාගත්ත හැටි. අනෙකකන්ගේ සරුංගල නූල් පටලවන්නේ නැතිව බේරගන්න හැටි. නූල් වල සයිස් එක්ක පැටලුනොත් කැඩෙන හැටි. කඩුගෙන යන සරුංගල වැටෙන තැන් හිතන හැටි. මේ වාගේ නානාප්‍රකාරයේ අධ්‍යයනයක් ඕනෑ විශයක් තමා සරුංගල යැවීම.

කොහොමින් හරි ඉරිද උදේ සරුංගලලේ අලවගෙන කොලුවත් එක්ක සරුංගලය යවන්න ගියා. සරුංගලේ උඩ ගියත් හරි හැටි හුලඟක් නොතිබුන නිසා නූල් පන්දුවෙන් බාගයකට වඩා උඩ ගිය සරුංගලේ නූල තද වුනේ නෑ. ඉතින් ටිකක් වෙලා කොලුවට අල්ලගෙන ඉන්න දුන්නා වුනත් වැඩි වෙලා තියාගන්න බැහැ. පුරුද්දක් නැතිව. ටික වෙලලාවකින් හුලං නැතිව සරුංගලේ සම්පූර්ණයෙන්ම වගේ පහත් වෙන්න පටන් ගත්තා. සරුංගල් යවන්න ආව අයගේ ඇස් මානයෙන් පහත් වෙද්දි කට්ටිය කීවේ "ඒක ඉවරයි" කියල. හැබැයි ඉතින් කාලයක් සරුංගල් යවපු පුරුද්දෙන් නූල ඇදල කරල සරුංගලේ ආයෙත් උඩට ගන්න පුලුවන් වුනා. ඊලඟට වෙන්නේ මොකක් කියල දන්න නිසා ඉක්මනින් සරුංගලේ බා ගත්තා. සරුංගලේ බාන එකත් කලාවක්. නූල හරියට ගොඩ දාන එක සරුංගලේ අතටම බාන එක හරිහැටි කරන්න ඕන.

ආයෙ දවසක යන්න ඕනි. ටිකක් ලොකු සරුංගලයක් හදාගෙන. අතීත මතක විදිහට උදේම සරුංගලයක් යවල ගහක ගැට ගහල. කාව හරි බලාගන්න තියල දවල්ට කන්න ගෙදර ගිහින් ඇවිත්. හවස් වෙනකන්ම ඉඳල සරුගලේ බාගෙන ගෙදර එන්න තියේ නම්.

ඒක වගේම මේකත් සරුංගල් කාලයක්....