කඩමණ්ඩියේ දොල අයිනේ

හුඟ කාලෙකින් ලියැවෙන ලිපියකන් වුනත් කාලයක් තිස්සේ හිතින් මිමිණෙන ගීතයක්. හිමි නොවුන ප්‍රේමයක් අපි කාටත් තියෙනවා. එවන් ප්‍රේමයක් අද සමාජයේ වගේ පිහි ඇණුමකින් හෝ ඛේදාන්තයකින් අවසන් නොකර විඳින්නේ කොහොමද කියන්න සාහිත්‍යය අපූරු පාඩම් කියා දෙනවා. මේ එයින් එකක් කියල මම හිතනවා.

සමාජය තුල තියෙන බැමි වලින් එදත් අදත් පෙම්වතුන්ට තහංචි තිබුනා. උස් මිටිකම්, කුල බේද, වත් පොහොසත්කම් වගේ දේවල් ඒවා අදත් තියෙනවා. මේ එහෙම ප්‍රේමවන්තියක් ආදරය තමන්ගේ හිතේ ගුලි කරගත්ත විදිහ කියලයි මම  හැමදාත් වින්ඳේ.

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

මම මේ ගීතය විඳින්න පටන්ගන්නේ පළමු පැදි පෙලේ ඉඳලමයි. ඒකට හේතුව ගමක තියෙන සුන්දරම තැනක්වුන කඩමණ්ඩිය මගේ හිතේ ලස්සන තැනක් මවන නිසා. කඩමණ්ඩියත් ඒ තුල ජන ජීවිතයක් හරි අපූරුයි හරි සරලයි කියලයි මම හිතන්නේ. එහෙම තැනක ඇයට ඔහුව පෙනෙනව. ඇගේ හිතේ උපන්න සුන්දර ලෙංගතුකමක් ඔහු කෙරේ තියෙනවා. ඒ නිසාම ඇය ඔහු දිහා නොබල එතැනින් යන්නේ නැහැ. මෙතැන ඔහුව මම දෙවිදියකින් මවනවා. එක්කෝ ඔහු කඩමණ්ඩියේ කඩයක වැඩ කනරන කෙනෙක් නැතිනම් ඇය සමඟම ඔහුත් ඇය ගිය ගමනම ගිහින් කඩමණ්ඩියෙන් දෙපැත්තට වෙන්වෙලා යන්නෙක්. ඇයගේ ප්‍රේමයට බාධාවක් තියෙනවා. ඒ නිසාම ඇයට ඔහු එක්ක කතා කරන්න විදියක් නැහැ. නමුත් ඇයට ඔහු හා කතා කරන්න ගොඩක් දේ තියෙනවා. තනිව විඳින ප්‍රේමයක තියෙන සියලු සංකාවන්, කුකුස ආදී හැඟීම් සියල්ල අවසන් පද දෙපල කියනවා කියලයි හිතෙන්නේ.

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
 
ඒ කාලෙ අපිට කියන කතාවක් තමා සමහර රහසිගත දේ තැන තැන කතා කරන්න එපා, බිත්ති වලටත් කණ් තියෙනවා කියන එක. එහෙම කියන්න හේතුව වෙන්නේ අපේ විරුද්ධවාදීන් කවුද කියන්න අපි නොදන්නා නිසා. මෙතැනදීත් ආචාර්ය සුනිල් ආරියරත්නයන් ඒවන් උපමාවක් භාවිතා කරනවා. ඇස් දාහකින් අප දිහා බලන් ඉන්න බවත් කණ් දහසකින් අප කියන දේ අහගෙන ඉන්න නිසාත් කියල. එ කියල අවසන් කරන්නේ නෑ කවදාවත් නුඹ මට නොලැබෙන නිසා කියලත් කියනවා. ඒ ඇය දන්නව තමන්ට තියෙන බාධාවේ තරම කොච්චරක් ද කියල. ඒ නිසාම ඇය කතා නොකර යන්න තීරණය කරනවා. හිතේ හිර‌වෙලා තියෙන හැඟීම් පිට කරන්න බැරි වීම තරම් වේදනාවක් කොයින්ද? මේ ගීතය අහද්දි සංගීතය ඒතැනදී දෙන විරාමය ම ඒ් හැඟීම උද්දීපනය කරනවා. හැඬුමක හිරවුන මොහොතක්....

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලන්වී රොන් ගන්න බැරී

මෙන්න මේ පද පෙල ගැන මට නම් හිනෙන්නේ මෙහෙම දෙයක්. අවසානයේ ඇය මුනිවත රකින්න හේතුවුන කාරණාව කියනවා කියල. මෙය ප්‍රේමවන්තයාගේ පැත්තෙන් ඉඳන් ඔහුට හිතන්න බල කරන කාරණාවක් වගේ. ඇය කියන්නේ මම ඔයාගෙ කර ගන්න බැරිබව මම සක්සුදක් සේ දන්නවා  නම් ඇයි අපි කතා කරල ලං වෙන්නේ. එහෙම ලංවුනත් අවසානයේ දී ඔහුට හිමිවන්නේ විරහව විතරයි. ඇය තමාව දිය බොන්න බැරි සයුරටත්, වතුරෙ පැද යන්න බැරි ඔරුවටත්, තමන්ට කැමති විදිහට දකින්න බැරි දෑසටත්, ලංවෙලා රොන් ගන්න බැරි කුසුමටත් සම කරනවා. ඒ ඇයට තියෙන බාධාව සුලුපටු එකක් නොවන බව තේරුම් කරන්න. ඉත්න අපිට ලංවෙන්න බෑ කියල දන්නවා නම් දුරින් ඉඳන් ඔහු දිහා බලල යන එක ඇරෙන්න ඔහු එක්ක කතා කරල මේ බලන්න තියෙන ටිකත් නැති කරගන්න ඇය කැමති නැහැ. 

අපූරු වින්දනයත් තියෙන අහිමි බව දැන දැනම ලංවෙලා හිත් දුකට පත් කරගන්න ප්‍රේමවන්තයන්ට හිමි නොවන තරම් බාධාවන් එක්ක ලංවෙලා විරහව හිමි කරගන්න ප්‍රේමවන්තයන්ටත් පාඩමක් ද කියලත් හිතෙනවා.

 

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
 
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා 
 
සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලන්වී රොන් ගන්න බැරී
 
ගායනය - විශාරද නන්දා මාලිනී
පද - ආචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච් එම් ජයවර්ධන

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!