කෝච්චියයි මමයි...


ලංකාවේ කෝච්චියක් යන ඕනම තැනක කෙනෙක් රැකියාවට යන්න හොඳම තේරීම කරගෙන තියෙන්නේ කෝච්චිය තමයි. බස් වලින් ගිහින් වාහන තදබද අස්සේ යන එකයි බස් සිංදු ටික දැම්මාම කණක් ඇහිල යන්න බැරි එකයි සැලකුවාම පුංචි කාලේ ඉඳන්ම කෝච්චියේ යන එක මාරම ජොලි වැඩක්. ඉස්සර කොලඹ එනවා කියන්නේ හෙනම ට්‍රිප් එකක්. කෝචිචයේ යන අපිට තිබුන එකම ට්‍රිප් එක වුනේ කොලඹ යන එක. ඉතින් අම්මල කොළඹ යමු කිව්වාම අපි මුලින්ම හොයන්නේ පත්තරයක්. ඒ වෙන මොකකටවත් නෙවෙයි. පත්තරේ පුංචි පුංචි කෑලි කඩාගෙන ඒක පරි‍ස්සමට මල්ලක දා ගන්නවා. නැතින්ම කලිසම් සාක්කු දෙකම පුරව ගන්නවා. කොහොම හරි කෝච්චියේ ජනේලයක් අයිනට සෙට් වෙලා කොල කෑලි ටික එකින් එක හුල‍‍ඟේ පා කරල යවන ටික තමා ‍ජොලිම ටික. ගිය වැඩේ කොහොම වුනත් ආයේ එද්දී ජනේලේ අයිනේ හම්බෙයිද කියල හිතන එක තමා ඊලඟට කරන්නේ.

ඇයි ඒ විතරක් යැ. ඒක ඔෆිස් යන උන් යන කෝච්චියක් නම් පැත්තකින් කාඩ් සෙල්ලන් කරන උන් ටිකකුයි තව පැත්තකින් සිංදු කියන සෙට් එකකුයි ඉන්නවා. උන් දාන වැඩ කෑලි ටික බලාගෙන ඉන්නේ මැජික් කාරයො ටිකක් දිහා බලන් ඉන්න වගේ. මග යන වඩේ කාරයෙක්ගෙන් වඩේ ටිකකුත් කෑවේ නැත්තම් නින්ද යන්නෙත් නෑ එදාට. ඒ කාලේ හරිම සුන්දරයි. හැබැයි ඉතින් කාලයක් ඉගෙනීම් එක්ක ඉඳලා ආයෙමත් කෝච්චියේ යන්න සෙට් වෙද්දී හරිම පුදුමයි. ඒ ඒ අතීතයේ කිසි දෙයක් දැන් නැති නිසා.