අපූරු අහස එක්ක අපූරු රැයක්....

2014 මැයි මාසේ 16 වෙනිදා අපි, "Sky Lovers" තාරකා විද්‍යා සංගමයෙන් අම්පාර මොරගහපල්ලම විද්‍යාලයයට ගියා. ඒ අපූරු අහස වැඩසටහන කරන්න. පන්ති කාමරයෙන් බැහැරව සිදු කල වැඩසටහන ඉතා සාර්ථකයි කියන්න පුළුවන්. නමුත් මෙහි තිබුන විශේෂත්වය තමයි ලමයි වෙනුවෙන් කෑම සූදානම් කරල තිබුණු විදිහ.

ඉඩකඩ ඇති තැනෙක පාසල් ඩෙස්ක් දෙක බැගින් තියල, ඒ වටා පුටු තියල. හැම ඩෙස්ක් දෙකකටම ඉටිපන්දම බැගින් තියනවා. වටපිටාවේ ඇති ගස් වල විලක්කු යොදල ආලෝකමත් කරනවා. ඊට පස්සේ බුෆේ ක්‍රමයට කෑම තියල ගමයි පෙලගස්සනවා. ඒ අය කෑම බෙදාගෙන තමන්ගේ තැන් වල අපි අර කියන table manners එක්ක කෑම කනවා. ඒක හරි අපූරු සිද්ධියක්. එහෙම වෙන්න තවත් හේතුවක් වෙන්නේ ඒ ලමයි 2, 3, 4 හා 5 ශ්‍රේණි වල ලමුන් වීම. පිටිසර ගමක ඉතා විචිත්‍රවත් විදිහට සකස් කරපු මේ අපූර්ව වැඩසටහන මගේ ජිවිතේට ගොඩක් වටිනවා. විභාග මානසිකත්වයෙන් හිටියත්, නොයන්න තරම් හේතු තිබුනත් මම ඒ වැඩසටහනට යන්න ගත්ත තීරණය නිවැරදියි කියල මට හිතෙන තරම් අපූරුවට ලමුන්ගේ දෙමාපියන් හා පාසලේ ගුරුභවතුන් බොහෝම ලස්සනට ඒ වැඩසටහන සකස් කරල තිබුණා.






රාත්‍රය වෙද්දී නිරීක්‍ෂණයේදී වුනත් අපේ කණ් යොමුවෙලා තිබුණේ කලුවරට ඒ අවට ප්‍රදේශයේ අලි ගැවසෙන නිසා. කොහෝම වුනත් ලමයින්ගේ දෙමාපියන් වුනත් තරමක ගැස්මකින් හිටියා කියන එක තේරුනේ ඔවුන්ගේ හැසිරීමෙන්. කොහොම වුනත් සාර්ථක වැඩසටහනක අවසානයේ අපිට හොඳ මතකයන් ටිකක් එක්ක එන්න පුළුවන් වුනා.

මඩකලපුවේ මිනිත්තු කීපයක්.....

ලඟදී මට හදිසියේම මඩකලපුවේ යන්න වුනා. ඒ ඇයි කියන එකට වඩා එතැනදී අත්වින්ද දේවල් වැදගත් නිසා කියන්න හිතුනා. මම ගියේ මඩකළපුවේ ඇති දැනට ක්‍රියාකාරී බෞද්ධ ස්ථානයක් වුන ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට. ඒ එහි ස්වාමීන් වහන්සේට ඇතිවුන ගැටලුවක් සම්බන්ධව මගේ මිතුරෙකුට ලැබුණු ඇමතුමකට ප්‍රතිචාරය විදිහට. මුලින්ම කියන්නම් මේ පන්සල ගැන.
මංගලාරාම විහාරය හදල තියෙන්නේ 1922දී විතර. දකුණේ නිර්මාණ සම්ප්‍රදාය තියෙන මේ විහාරස්ථානය 80 දශකයේදී කොටි ත්‍රස්තවාදය නිසා විනාශයට පත්වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි බෝධීන් වහන්සේ පවා විනාශ කරල දාල. තිස්වසරක යුද්ධය අවසන් වෙලා වුනත් තාමත් මඩකලපුවේ කිසිඳු තැනක බුදු පිළිමයක් තියන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. උසාවියේ නඩු ගණනාවක් තිබුණත් නීතිය පවා බුදුදහමට පිටුපාමින් නියෝගයක් දීල තියෙන්නේ බුදු පිළිම තැබීම තහනම් කරමින්. කෙසේ වෙතත් මේ වන විට මංගලාරාමයේ විහාරාධිපති විදිහට වැඩ වාසය කරන අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේගේ දැඩි උත්සාහය නිසාම මේ විහාරය අද පිළිසකර කරමින් තියෙනවා. නමුත් පන්සල අවට කිසිඳු සිංහලයෙක් නැති නිසාවෙන් ගොඩක් අසීරුවෙන් තමයි පන්සල පවත්වාගෙන යන්නේ. අද පිටරැටියන්ගේ ආධාර වලින් තමයි විහාරය සංවර්ධනය වෙන්නේ. මඩකලපුව අවට තියෙන පුරා විද්‍යා ස්ථාන පවා රැකගෙන ඉන්නේ හමුදාවේ උදව් වලින් නැතිනම් ඒ ස්ථාන පවා විනාශ කරල. මෙි විදිහට විනාශ කරන්නේ අපේ උරුමය කියල නොදැනෙන තරම් පිරිසක් තමයි ඉහල තැන්වල ඉන්නේ.

  
ඒ අතරේ තවත් දෙයක් දකින්න පුළුවන්කම ලැබුණා. මම කලින් මගේ ගමන් බිමන් ලිපියකින් විස්තර කල පුළුකුණාව නටඹුන් අතරේ තිබුණ ලංකාවේ විශාලම ආසනගරය ඔයාලට මතක ඇති. එම නටඹුන් අතරම ලැබුණු තවත් ආසනගරයක් ඒ වෙද්දිත් මඩකලපුවට ගෙනිහින් තිබුණා. ඒ මඩකලපුවේ කොටුව ඇතුලේ දේවාලයකට. නමුත් අද ඒ දේවාලය පුරා ටයිල් අල්ලලා. ඒ නිසා ගල් ආසනය එතැනින් එලියටත්, පස්සේ කොටුවෙන් එලියේ නුගගහක් යටටත් විසිකරල දාල. ඒ විතරක් නොවෙයි එය දැන් හරි මැදින් පුපුරාගිහින්. අද එතැන තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයය. මේ විදිහට ඒ දේවල් විනාස වෙන්න දාල තියෙන්නේ මොන බලවේගයක් විසින්ද කියන දේ නම් ගැටළුවක්. මේ තියෙන මඩකලපුවේ ස්ථාන බලන්න විශේෂිතව නොගියත් මට ලැබුණු පුංචි වෙලාවේදී මඩකලපුවේ බෞද්ධයාට හා අපේ ඉතිහාසයට දීපු තැන ගැන නම් බොහෝම කණගාටුවෙනවා.


කොහොම වුනත් අපේ සිංහල අයගේ වැරදි නිසාවෙන් විනාස වෙන අපේම හෙළ ඉතිහාසය, රාවණ ඉතිහාසය හෝ වෙනයම් ඉතිහාසයක් සත්‍යයයි කියා පෙන්වන්න හදන අයටවත් පේන්නේ නැති බව නම් සැබෑවක්. අවුරුදු 6500කට වඩා පැරණි ඉතිහාසයක් එක වරම හොයන්න දඟලන්නේ නැතිව ඊට කලින් තිබූ ඉතිහාසයේවත් කරුණු තව දුරටත් විනාශ වෙන්න නොදී රැකගෙන හිටියානම් හොඳයි නේද? ලංකාවේ බලධාරීන් හා බෞද්ධයාගේ අවශ්‍යතා වෙනුවෙන් කතා කරන අයට මේ දේවල් වෙනුවෙන් මොනවත් කරන්න බැරිද කියන එකත් ගැටළුවක්. වෙන ඕනම ආගමක අය ඒ අයගේ ආගමික ස්ථාන රැකගැනීම වෙනුවෙන් ජීවිත වුනත් දෙන්න සූදානම් වෙද්දී බෞද්ධයාම ඒ දේවල් විනාශ කරන්න අනුබල දෙන්නේ වැලලුණු ඉතිහාසය යලි පණ නැගීමෙන් ඔවුනට අවාසියක් වේවි යැයි සිතමින්ද එසේත් නැතිනම් අතීතයේ වැළලුනු දේ අපේ ඓතිහාසික දේ විකිණීමෙන් ලැබිය හැකි ලාභය ගැන සිතීමෙන් දැයි යන කරුණ තව දුරටත් සිතා බැලිය යුතුය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේදී අපෙන් සොරාගත් පෞරාණික දෑ ඩොලර් මිලියන ගනන් වලින් වෙන්දේසි වෙද්දී අපි තවමත් අපේ මුතුන්මිත්තන්ව කුණුකොල්ලයට පිටරැටියාට විකුණනනු ලබන්නේය. ඉන් දුක්ඛිතම කාරණාව වන්නේ මෙයයි. අද අපේ මුතුන්මිත්තන් විකුණන ඔබ, හෙට ඒ දේවල් අවසන් වෙද්දී දෙමාපියන් පවා කුණුකොල්ලයට විකුණනු ඇත. ඒ දවස තව ගොඩක් ඈතක නම් නෙවෙයි. හෙළ සිරිත් විරිත් සාරධර්ම වෙනුවෙන් සෑම රටක්ම ගරු කරන අපේ රටේම මේ දේවල් පවා සිදුවීම ඉතා කණගාටුදායකය.

මඩකලපුවේ ගතකල මිනිත්තු කීපය මට ඉතිරි කල මතකය හා හැඟීම තමා ඔය පුළුවන් නම් මේ දේවල් හොයා බලල පුළුවන් විදිහට ඒ දේවල් රකින්න කියලයි කියන්න තියෙන්නේ.
***********************

රට කරවන්ට නම්!
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ට නම්!
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු හෝටලයකට
රට කරවන්ට නම්!
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
***විශාරද නන්දා මාලිනී*****
********************************

මමයි ඔයාලයි.....!

මේක මහ පුදුමාකාර ලෝකයක්. ලියන්නේ නෑ කියලමයි හිතුවේ. ඒත් දකින දේවල් නිසා නොලියත් බැහැ කියල හිතුනා. මම පුංචි කතාවක් කියන්න යන්නේ හැබැයි මේක අවසානය වෙනකල් කියවන්නේ නැත්තන් ඔයාලට Vantage Point ෆිල්ම් එක බැලුව වගේ තියෙයි.

ගොඩ කාලෙකට කලින් ඒ කියන්නේ 90 ගනන් වල අපේ ගෙදෙට්ට ෆෝන් එකක් ගෙනාව. ඒ Nokia 2300 වර්ගයේ එකක්. පට්ට ගානක් ඒක ඒ දවස්වල. මට මතක හැටියට රුපියල් 10,500ක් විතර. (පත නයෙක් ඉස්සරහ දොරෙන් ගේ ඇතුලට ආවා) මං පුංචි එකා නෙව. තේරෙන්නේ නෑ වැඩ කරන්න ඒ විජ්ජුම්බරේ එක්ක. ඒ කාලේ call එකක් ගන්නත් රුපියල්ම අඩුම ගානේ රුපියල් 11 ඕන විනාඩියට. ඒ ඔක්කෝම වුනා කියමුකෝ. ඊටත් පස්සේ අපේ ගෙදෙට්ට ගෙනාව තාක්‍ෂණික මෙව්ව එක තම් කොම්පීතරේ. අන්න ඒක තමා මට මෙහෙම ලියන්න බලකලෙත්. හිතන්න ෆෝන් එකක් එහෙම නම් කොම්පීතර රාජයෙක් කියන්නේ කොහෝම වෙන්න ඇතිද කියල. (අර ආපු පත නයා පිටි පස්සේ දොරෙන් එලියට ගියා)

මම අන්න ඒ කිව්ව කොම්පීතර රාජයා හම්බුනේ අපේ අයියකාරයට. මිනිහා විභාගයක් පාස්වෙලා. ඒ දවස්වල හෙනලොකු එකක්. O/ L විභාගේ. =D හැබැයි ඉතින් මිනිහා ඒ දවස්වලත් මීටරේ. මට මතක හැටියට ඒ 2004 විතර. මාත් ඒ වෙද්දි හෙන සයිස් ඉරෙට්ට වගේ හිටියට. :P කොහොම හරි මටයි මල්ලිටයි දැන් හෙන අප්සට්. මොකද අයියකාරය එයාට ගෙනාව එක කියල අපිට දෙන්නේ නෑ. අන්තිමේ තීරණය "දවසට පැයයි. ගේම් ගහන්න බැහැ." හැබැයි ඒ පැය ගන්න මුලින් අම්මගාව නහයෙන් අඬල පස්සේ අයියාගාව. හපොයි....! මට තාම මතකයි මායි මල්ලියි සිවිලින් නැති වහලේ බිත්ති දියේ බඩගානව අයියගෙ password එක බලාගන්න. කොහෙද ඒකා ඒක සටපට ගාල දෙනව අපිට හිතන්නත් බැරිවෙන්න.
අපේ ගෙදරට ගෙනාව මුල්ම කොම්පීතරේ ගාව මං ඒ කාලේ... :P
කොහොමින් කොහෙම හරි මම නම් ඒකේ වැඩ ටික පුරුදු වුනා. මම O/L ලියල හිටි නිසා A/L වලට ප්‍රොෙජක්ට් එකක් දෙන්න ඕන බව දන්න නිසයි හදන්න ගත්තා ප්‍රොජෙක්ට් එක. කොහෝමහරි අතපතගාල MS word එකයි MS power point එකයි ඉගෙන ගත්තා. වේගෙන් සිංහල අකුරු ටිකත් අල්ලගත්ත නිසා ඊට පස්සේ අවුරුද්දේ ඉඳන් තාත්තා කරන අමතර පන්ති වල papers හදල ෙදන්න පටන් ගත්තා. ඒකෙන් කොම්පීතරේ එක්ක වැඩි වෙලාවක් ඉන්න හම්බුනා විතරක් නෙවෙයි ඒකෙන් ගොඩක් දේ ඉගෙන ගන්නත් පුළුවන් වුනා. එදා ඉඳන් ඉගෙන ගත්ත මම දැන් computer ගැන ටිකක් දන්නවා. දැනුයි කතාව තියෙන්නේ. මේ කතා කලේ මම ගැනනේ දැන් කතාව ඔයාල ගැන.


මේ "ඔයාල" කියන කණ්ඩායමට විවිධ පුද්ගලයෝ අයිති වෙනවා. කොටසක් මාත් එක්ක ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයයේ අය, අනික මම දන්න කියන තරුණ පිරිස. අර teenagersල කියන්නේ අන්න උන්ටික. අපේ කාලේ වගේ නෙවෙයි දැන් ගොඩක් ලාබෙට තාක්‍ෂණය අලෙවි වෙනවා. ඒත් අපේ බොහෝමයක් දෙනා ගන්නේ ඒ දේවල් වලින් අවැඩක් විතරමයි. බලන්න ඔයාල වෙනුවෙන් තාක්‍ෂණය උගන්වනවා ඒත් ඔයාල ටිකක්වත් ඒ ගැන හිතන්නේ නැහැ. අද හැමදේම කරන්න තාක්‍ෂණය ඕන. ඒත් ඇයි ඔයාල ඒ දේවල් අත්හරින්න හදන්නේ. මතක තියාගන්න මේ වයස මේ කාලය ගියාම ආයේ ඉගෙන ගන්න නම් වෙන්නේ නැහැ. කාලය කියන දේ අපි හැමෝටම නැතිවෙන දෙයක්. මට, මගේ අයියට පදනම උගන්වන්න අය හිටියේ නෑ. පස්සේ විවිධාකාර ගුරුවරු හොයන් ගියා. ඒ අපිට අවශ්‍ය දැනුම සොයාගෙන. අපේ අඩුපාඩු හදාගන්න. මම අදත් ටයිප් කරන්නේ කොට්ටෝරුවෙක් වගේ. හැබැයි ඒ දේ වේගයෙන් කරන්න පුළුවන්. නිවැරදි ඉරියව් නැති වීමෙන් වෙනඅතුරු ආබාධ අනිවාර්යයෙන් අපිට හැදෙයි. ඒ අපිට ඒ දේවල් කියාදෙන්න කවුරුත් හිටියේ නැහැ. අපි අතපතගාල දෙයක් හොයාගත්තා. මම දන්නවා මගේ තියෙන පුංචි දැනුම ගොඩක් අක්‍රමවත්. මම theory දන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වන දේ සාර්ථකව කරන්න පුළුවන්. එ් අපි යමක් තනියෙන් ඉගෙන ගත්ත නිසා.

පුංචි උදාහරණයක් කියන්නම්. මේ කාලෙකට කලින් මගේම අත්දැකීමක්.

මම එක්තරා යාළුවෙක් මුණගැහෙන්න ගිය වෙලාවේ එතැනට එයාගේ යාළුවෙක් ආව. ඇවිත් තිබුනේ CV එකක් හදාගන්න. මගේ යාළුව මම ඉන්න වෙලාවේදීම ඒ වැඩේ කරල දුන්නා. ඒ අතරේ මම ඒ ආව කෙනා එක්ක කතාවට වැටුනා. ඒ වෙද්දි එයාට type setting වලට diploma එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලක්‍ෂයක් වියදම් කරන course එකකුත් කරල. මටයි, මගේ යාළුවටයි ඒ මොකුත් නෑ. ඒත් අපි තමයි වැඩේ කරල දෙන්නේ. හිතන්න ඇයි මේ විදිහට සල්ලි විනාස කරන්නේ. දවසක එයා ඒ විදිහට රස්සාවකට ගියත් ඒ ආයතනයට නම් වැඩක් වෙන්නේ නැහැ කියන එක නම් සහතිකයි. කොහොමත් අපේ රටේ තාමත් තියෙන්නේ සහතික වලට දෙන රස්සා නිසා ආයතනයක දියුණුවක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය එකක් විතරයි.

අනිත් කාරණාව තමයි පරිඝණක ක්‍රීඩා. (වාසනාවට මම ඕකට අහුවුනේ නැහැ මගේ අයියට පිංසිද්ධ වෙන්න. මොකද computer එක හම්බෙන පැයේ ගේම් ගැහුවොත් දෙයක් ඉගෙන ගන්න බැරිවෙන නිසා.) දැන් ඉන්න හැමෝම කම්පියුටර් එකක් හොයන්නේ ගේම් ගහන්න. ඉස්සෙල්ලාම අහන්නේ VGA එක කීයද කියල. =D මට නම් අර mouse එකද මොකක්ද කියන එකවත් තාම හරියට එහෙ මෙහෙ කරගන්න බැරි නිසා ගේම් නම් ගහන්නම බැහැ. කොහොම වුනත් ගේම් ගැහැවත් කමක් නැහැ කියමුකෝ. ඒ දේ කරන්න ප්‍රයා්ජනවත් වැඩක් කරල අවසානෙට. වෙහෙස නිවන්න තියෙන දෙයක් තමා ඔය පරිඝණක ක්‍රීඩා. හැබැයි ඉතින් ඒකත් ලේ පිපාසිත මරාගන්න එකක් නම් වෙන්නේ ඔයාලත් ඒ කෙනා වගේ වෙන එක විතරයි. මොකද සාර්ථකව ඒ දේ කරන්න නම් ඒ තුලට යා යුතුමයි. මුහුද අයිනේ ජීවත් වෙමින් කඳුකරයේ ජීවත් වෙන විදිහ ඉගෙන ගන්නවත් කඳුකරයේ ජීවත් වෙමින් මුහුද අයිනේ ජීවත් වෙන විදිහවත් ඉගෙන ගන්න බැහැ. මුහුදු අයිනේ ජීවත්වෙලා මුහුද අයිනේ ජීවත්වෙන හැටිත් කඳුකරයේ ජීවත් වෙලා කඳුකරයේ ජීවත්වෙන හැටිත් ඉගෙන ගන්න ඕන. කොහෝම වුනත් මම ඔයාල ඔක්කෝගෙන්ම ඉල්ලන්නේ මේ කාලය ආයෙ එන්නේ නැහැ.
මගේ මුල්ම මතකයේ රැඳුනු චාරිකාවේ දී තිසා වැවේ තාත්තාගේ කරපිට
තාත්තා ගැඹුරු දියට යන මගේ ආසව ඉටු කල හැටි
මතක තියාගන්න ජිවිතේට පාර කියන්නේ අත්දැකීම්. අත්දැකීම් ගන්න නම් ප්‍රාෙයා්ගිකව ඒ දේවල් කරල බලන්න ඕන. ඒ නිසා දෙයක් ඉගෙන ගන්න ඕන නම් ඔයා ඒ දේ කරන්න පටන් ගන්න. ඔයා නොදැනුවත්වම ඒ දේ ඉගෙන ගනීවි. මට ජීවිතේ ඉගෙන ගන්න තිබුණු එකම හේතුව කුතුහලය. මම අද දන්න විශයයන් (යමක් දන්නවානම්) සියල්ලම දැනගන්න හේතුව තිබුනු කුතුහලය. දැන් කියයි ඔයාලට කුතුහලය තියෙනවා වෙලාව තමා නැත්තේ කියල. මම ඇවිදින්න දේවල් දකින්න තියෙන ආසාව නිසා. සිකුරාදා හවස ඉඳන් ඉරිදා රෑ වෙනකල් කිලෝමීටර 300ක් 400ක් ගිහින් කඳුවල බඩගාල, කැලෑ වල ඇවිදල ඇවිත් සඳුදා උදේ විභාග ලියලත් තියෙනවා. ඒ ලියද්දි මට තිබුණ හයිය මගේ කුතුහලයයි ආසාවයි විතරයි. විභාගේ ලියද්දි මට ෆේල් වෙයි කියල හිතෙනවට වඩා වැඩියෙන් ඒ දේ මැකෙන තරමට ආසාවන් සම්පූර්ණ වීමේ සතුට තිබුණා. A/ L ලියන කාලේ රෑට යාළුවෝ එක්ක මළගෙවල්වල දානේ ගෙවල් වල ගිහින් පැවරුම් ඔක්කෝමත් කරන් පන්තිත් ගිහින් තියෙනවා. ජීවිතේ කැපකිරීම් කරලයි ගොඩ එන්න පුළුවන්.

කොහෝම වුනත් මගේ තාත්තටයි අයියාටයි පින්සිද්ධ වෙන්න මම දැන් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද කියල දන්නව. තවත් අය ඒ දේවල් වලට පාර කිව්වා. අයියා ඒ දවස්වල මට ඉගැන්නුවේ නෑ මම එයාගෙන් බලෙන් අහගත්තා. වද දීලා පැය ගනන් ලැගල ඉඳන් එක දෙයක් අහගත්තා. හැබැයි ඒ නිසා අද මට අවුරුදු ගනන් ලගින්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න. පාරවල් අද්දර නිදාගෙන, පරවියන් නිසා ගඳගහන බස් නැවතුම්පල වල නිදාගෙන, වතුර බිඳක් නැති කඳුවල බඩගාල, පෙඳ පාසි පිරුණු ගල්වලින් බේරෙන වතුර බීල වෙහෙස නිවාගෙන ගිය ගමන් වලින් පුදුම දේවල් මම ඉගෙන ගත්තා. ඒ දේවල් වලින් මාර අත්දැකීම් ගොඩක් මම ගාව තියෙනවා. හැබැයි ඒවා ඔක්කෝම කරල මට මම ගැන සතුටු වෙන්න පුළුවන් තැනක මම ඉන්නවා. තාත්තගෙන් සල්ලි ඉල්ලන්නේ නැතිව ටොෆියක්, අයිස් ක්‍රිම් එකක් නොකා ඉතිරි කරල ජීවිතේ තමන් ආස කරපු දෙයක් ගත්තාම තියෙන සතුට මම හොඳින්ම දන්නවා. ඒක මාරයි.

මෙන්න මේ ඉන්නේ අපේ අයිය. කස්ටිය දන්නවත් ඇති මෙයාව අර ශාකුන්තලගේ සටහන්පොත ලියන්නේ, මෙයා තමා එයා
 මේ මගේ තාත්තයි අම්මයි.....